ජනපතිගේ දර්ශනය යථාර්ථයක් කරන්න කැපවෙන්න

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත්කිරීමට සියලු දෙනාම ඇප කැපවිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(27) බත්තරමුල්ල නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයට සහභාගි වෙමිණි.

තවත් ආයතනයක තිබෙන බලය උදුරාගෙන තවත් ආයතනයක් ශක්තිමත් නොකළ යුතු බවත් මෙහිදී සඳහන් කළ අගමැතිවරයා තම ආයතනය ශක්තිමත්කර ගැනීමට අදාළ ආයතන විසින්ම කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

මෙවර කැබිනට් මණ්ඩලයට යෝජනා වූ සහන මගින් ජනතාවට විශාල වාසි සැළසෙන බවද කී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජනාධිපතිවරයාට රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට අදාළ සියලු අංශයන්ම යුතුකම් ඉටුකළ යුතු යයි සඳහන් කළේය.

රජයේ සේවකයන් ආරක්ෂා කිරීමට වත්මන් රජය නිරන්තරව ක්‍රියාකරන බවද කී අගමැතිවරයා තම ආයතනවලට විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් නිසි සේවාවක් ඉටු කිරීමට ක්‍රියා කළ යුතු බව ද පැවසීය.

පසුගිය රජයේ ක්‍රියා කලාපයට ජනතාව පිළිතුරු ලබා දුන් ආකාරය මෙවර ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *