ජනපති සිය පළමු නිල විදෙස් සංචාරය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙදින රාජ්‍ය චාරිකාවක් සදහා අද (28) දහවල් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්විය. ජනාධිපතිතුමා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටි බව සදහන් වේ. ‍

ජනාධිපතිතුමා අද දින දහවල් 02.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි මෙම රාජ්‍ය චාරිකාවේ නිරතවේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන අතර, ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වේ. ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප්‍රභූවරුන් ද මුණ ගැසෙනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරතවන ප්‍රථම විදේශ චාරිකාව මෙයයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *