මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව UN නියෝජිතයෝ ඇමති නිමල් සිරිපාල හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Miwa Panholzer Kato හා එම සංවිධානයේ ගෝලීය නාවුක අපරාධ වැඩ සටහනේ ප්‍රධානී ඇලන් කොලේ ඇතුළු නියෝජිත පිරිසක් අද (28) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු විය.

ඒ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මත් ද්‍රව්‍ය භාවිතය හා බන්ධනාගාර තුළ සිට මත් ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑමට අදාළ කරුණු පිළිබදවත් මෙම තත්වය නැති කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදවත් ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා ක්‍රමවේදයන් උපයෝගි කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබදවත් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම අංශය මගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මෙම තත්වය නිවැරදි කොට මත් ද්‍රව්‍ය වලින් තොර බන්ධනාගාර පරිසරයක් සැකසීම සදහා අවශ්‍ය තාක්ෂණික හා වෙනත් සහයෝගයන් ලබාදීමට සුදානමින් සිටින බවට ප්‍රකාශ කරන අතර මෙම ක්ෂේත්‍රයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතා ළගින් කටයුතු කොට සිරකරු සුභ සාධනය සදහා ගත යුතු පියවර ගැනීම සදහා අධිකරණ අමාත්‍යාංශය නිරතුරුවම සුදානමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

දැනට බන්ධනාගාර තුළ ඇති පරිසරය පහසුකම් හා රැදවියන් වෙත ලබාදිය හැකි පහසුකම් ප්‍රමාණවත් නොවන බව තමා වෙත වාර්තා වී ඇති බවද බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය සදහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා දෙන පුළුල් වැඩ පිළිවෙළක් සකස් කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ සදහා තමා කැපවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *