ජනපති නම විකුණන අය නීතිය හමුවට

(කොළඹ, ලංකාපුවත්) –ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුළාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බවත් එසේ ජනාධිපතිවරයාගේ නම අයුතු ලෙස භාවිත කරමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි යැයි ඔවුහු ජනතාවට පවසන බවත් මෙවැනි පුද්ගලයින්ගෙන් ඇතැමෙක් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇති බවට ප්‍රකාශ කළ අවස්ථා දැන ගැනීමට ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයකට හා පටිපාටියට අනුව වැඩ කිරීම බවත් පටිපාටියෙන් බැහැරව තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයාව පොළඹවා ගැනීමට කවරෙකුට හෝ නොපිළිවන් බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් කිසියම් පාර්ශ්වයක් ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකොට වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගන්නා බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *