අයි එස් ත්‍රස්තවාදය ලොවටම තර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදයට සාර්ථකව මුහුණ දීමට බුද්ධි අංශ ශක්තිමත් කළ යුතු යැයි ද කළින් පැවැති ආණ්ඩුව ඒ ගැන සැලකිලිමත් නොවී යැයි ද එල්ටීටීඊ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට තර්ජනයක් වුවත් අයිඑස් ත්‍රස්තවාදය ලෝකයටම තර්ජනයක් යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලියේ දී ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කීවේය.

එහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ ඒ මහතා කියා සිටියේ, පොලිස් බලතල පාලනය කිරීම හැර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතින බවත් එය ක්‍රියාත්මක ව පවතින බවත් පොලිස් බලතල පැවැරීම වැනි කාරණා කිහිපයක් පමණක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් මෙයට විකල්ප ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කිරීමට තමන් කැමැති බවත්ය. උතුරු ප්‍රදේශයේ සංවර්ධන වැඩ ගැන තමන් උනන්දු වන බවත් මෙතෙක් සිටි නායකයන් රැසක්ම බලය බෙදීම යන වචනය මන්ත්‍රයක් මෙන් එක දිගට කී නමුත් එයින් උතුරේ ප්‍රශ්නය විසඳුණේ නැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කීවේය.

පසුගියදා කොළඹට පැමිණි ඉන්දි‍යාවේ විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියන් ජයිශංකර් දෙමළ ජනතාවට යුක්තිය ඉටු වීම සම්බන්ධව මතු කළ අදහස් ගැන ජනාධිපතිවරයා අදහස් එකතු කරමින් උතුරේ ජනතාවට සංවර්ධනය උදා කර දීම ඉතාම වැදගත් වන බවත් ඔවුන්ට යහපත් ජීවිතයක් උදාකරදීම මේ ප්‍රශ්නයට සැබෑ පිළියම බවත් කීවේය. තමන්ගේ පස් වසරක පාලන කාලය අවසාන වන විට මේ ප්‍රශ්නය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

නිදහස ලබා වසර 70ක් ගත වී ඇතත් ජනතාවට සංවර්ධනයේ සෘජු ප්‍රතිලාභ නොලැබීම නිසා ප්‍රශ්න ඇති වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය. බහුතරයේ මතයට එරෙහිව දෙයක් ප්‍රකාශ කිරීම අසත්‍යයක් බවත් කී ජනාධිපතිවරයා මෙතෙක් සිටි නායකයන් එක දිගටම මන්ත්‍රයක් මෙන් බලය බෙදීම සියලු ප්‍රශ්නවලට විසඳුම යැයි කීවත් එය සත්‍යයෙන් තොර බවත් වැඩිදුරටත් කීවේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බවත් එළැඹෙන මහා මැතිවරණයෙන් 2/3ක බලයක් ලබාගෙන එය වෙනස් කරන බවත් ඔහු කීවේය.

ස්ථාවරත්වයක් නොමැති කළ ආයෝජකයන් නොපැමිණෙන බවත් වැඩිදුරටත් කී ඔහු එල්ටීටීඊ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට තර්ජනයක් වුවත් අයිඑස් ත්‍රස්තවාදය ලෝකයටම තර්ජනයක් යැයි මෙහිදී කීවේය. ත්‍රස්තවාදයට සාර්ථකව මුහුණ දීමට බුද්ධි අංශ ශක්තිමත් කළ යුතු යැයි ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේ දී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − seven =