මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කීර්තිමත් පඬිවරයකු වූ මෙන්ම සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතෙකු වූ කලාකීර්ති, මහාචාර්ය විනී විතාරණ මහතා අද(02) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 91 වැනිවියෙහි පසුවිය.

ජීවිතයේ එක්වරක් පිදෙන දිවමන් සම්මානයෙන් මහාචාර්ය විනී විතාරණ මහතා පසුගිය දා පිදුම් ලැබීය.

ක්‍රි.ව 1928 ජූනි මස 02 දින තංගල්ල ප්‍රදේශයේ පල්ලිකඩ ග්‍රාමයේ උපත ලබන විනී විතාරණ, සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ක්‍රිස්තුරාජ සිංහල පාසලෙනි. සිංහල පාසලේ අධ්‍යාපනය ලබද්දී ඔහු විසින් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් දක්වන ලද කුසලතාව හේතුකොට ගෙන තංගල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමි විය. එම විද්‍යාලයේ පුස්තකාලය විනී විතාරණ ශිෂ්‍යයාගේ දැනුමේ නිම්වළලු පුළුල් කළ නිවහනක් බඳු විය. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතළත් වන විනී විතාරණ, උසස් අධ්‍යාපනයට අදාළ සුදුසුකම් සපුරා කොළඹ ලංකා විශ්වවිද්‍යාලයට ඇතළුත් වී සිය ප්‍රථ‍ම උපාධිය ලබා ගනියි.

1949 උපාධිය සපුරා ගැනීමෙන් පසුව ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරු පත්වීමක් ලබා ගන්නා විනී විතාරණ, 1953 දක්වා එහි සේවය කර පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සේවයට බැඳෙයි.

ඔහු ලබා ගත් උපාධි අතර ලන්ඩන් විශ්වවිද්‍යාලය සිංහල – ප්‍රථම පන්තියේ උපාධිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1959 ශාස්ත්‍රපති උපාධිය, එම සරසවියෙන් ආචාර්ය උපාධිය – 1966, ආචාර්ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලය – 1968 ලබාගෙන තිබේ.

වෘත්තියෙන් පසු 1960දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (ජයවර්ධනපුර) කථිකාචාර්ය පදවියක් ලබා 1981 දී ඉන් ඉවත් වන විට මහාචාර්ය පදවිය දරමින් සිටියේය. 1981 දී රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පදවියට පත්වන මහාචාර්ය විනී විතාරණයන් 1993 දී විශ්‍රාම ගන්නා තුරුම රුහුණ විශ්වවිද්‍යාලයට අනුයුක්තව සිය සමාජ මෙහෙවරේ යෙදී සිටියේය.

විශ්‍රාම ගැනීමෙන් පසුව ආරාධිත මහාචාර්යවරයකු ලෙස කැලණිය, ජයවර්ධනපුර, සබරගමුව විශ්වවිද්‍යාලවලත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආදී විද්‍යායතනයන්හී විද්‍යාර්ථින්ගේ නැණ පිපාසාව සංසඳිවීමට මැදිහත් කාර්යයක් ඔහු අතින් ඉටු විය.

මහාචාර්ය විනී විතාරණයන් සිංහල හා ඉංග්‍රීසි කෘති රාශියක කතුවරයාද වන අතර මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සංදේශය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.

සිය සාහිත්‍ය මෙහෙවර හේතුවෙන් රාජ්‍ය සම්මාන බුහුමනට පාත්‍ර ‍වී සිටින මෙතුමා 2018 වසරේ ගොඩගේ ජ්‍යෙෂ්ඨ සම්මානයෙන් ද පිදුම් ලැබීය. මෙතුමාගේ වැදගත් ම කෘතියක් වන්නේ පිටු 1700 කින් යුතු සද්ධර්ම රත්නාවලිය ඉංග්‍රීසි පරිවර්තනයයි. මෙය තවමත් මුද්‍රණයෙන් පළ වී නැත.

ගල්කිස්සේ සමුද්‍රාසන්න මාවතේ ඔහුගේ නිවස පිහිටා ඇති අතර අවමංගල්‍යය කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 11 =