රනුක ප්‍රභාත් ශ්‍රී ලංකාව රනින් බබළවයි

(කොළඹ, ලංකාපුවත්) – නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ටයිකොන්ඩෝ ඉසව්ව නියෝජනය කළ රනුක ප්‍රභාත් ඊයේ සමත් විය.

අවුරුදු 17-23 අතර වයස කාණ්ඩයෙන් පුම්සේ ඉසව්ව නියෝජනය කරමින් තරග කළ ප්‍රභාත් මේ රන් පදක්කමට හිමිකම් කී අතර පුම්සේ මිශ්‍ර යුගල ඉසවේදී ඉසුරි සුහාරා මෙන්ඩිස් සමග එක්ව ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම දිනා දීමට රනුක ප්‍රභාත් ට හැකිවිය. මේ රන් ද්විත්වය සමගින් අවුරුදු 23ට වැඩි පුම්සේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කමත් ශ්‍රී ලංකාවට හිමිවිය. රන් දිනූ එම කණ්ඩායමට නිශ්ශංක ජයසිංහ, ඉලංදාරිගේ ලක්ෂ්මන් සහ ක්‍රිෂාන්ත වීරසිංහ ඇතුළත් වූහ. රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මාධවි තිලක්ෂනා සහ ඉලන්දාරිගේ ලක්ෂ්මන් රිදි පදක්කම් දිනාගත් අතර ඔවුන් දෙදෙනා එක්ව පුම්සේ මිශ්‍ර යුගල ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ. පුම්සේ අවුරුදු 17-23 අතර රිදි පදක්කම දිනාගත් කණ්ඩායමට රනුක ප්‍රභාත්, අමිල සහන ඉසුරු සහ නිමේෂ් විරංග එකවූ අතර මාධවී දෙවගේ, තිලක්ෂිකා ජයවීර, ශලිනි උපේක්ෂා සහ දනුෂා නයනාංගනී අවුරුදු 23ට වැඩි කාන්තා කණ්ඩායමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්හ.

නිශ්ශංක ජයසිංහ, ඉසුරු සුහාරා සහ ගයත්‍රී සඳමාලි ලෝකඩ පදක්කම් දිනාගත් අතර ඉලන්දාරිගේ ලක්ෂ්මන් සහ ගයත්‍රි සඳමාලි එක්ව මිශ්‍ර යුගල ලෝකඩ පදක්කමක්ද දිනා ගත්හ. අවුරුදු 17-23 අතර පුම්සේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් කණ්ඩායමට ඉසුරි සුහාරා මෙන්ඩිස්, සංජීවනී ජයසිංහ සහ හෂිනි චාපා එක්වුහ.

කරාතේ

මේ අතර ඊයේ කත්මන්ඩු නුවර සට්ඩොබටෝහිදී පැවැති කරාතේ ඉසව්වෙන් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී කිලෝග්‍රෑම් බර පන්තිය නියෝජනය කළ දිනූෂා කුමාරි සහ පිරිමි කාතා කණ්ඩායම් ඉසව්වෙන් එල්.බී.හේරත්, ටී.ජී.දයානන්ද සහ ඩබ්.කේ.ආර්.තිසේරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. කිලෝග්‍රෑම් 84ට වැඩි බර පන්තිය නියෝජනය කළ සුමේධ විමලසිරි, කිලෝග්‍රෑම් 45 බර පන්තියෙන් ඉස්කා සේනරත්, කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් රොසයිරෝ තිසේරා, කි.ග්‍රෑ 85 බර පන්තියෙන් කබිඳු ආරච්චිගේ, කාතා කේවල ඉසව්ව නියෝජනය කළ සුදර්ෂන් බාලුරාජ් සහ කාන්තා ඉසව්ව නියෝජනය කළ හේෂානි හෙට්ටිආරච්චි එම පදක්කම් දිනාගත් අතර අනෙක් පදක්කම කණ්ඩායම් කාතා ඉසව්වට හිමිවිය. එම කණ්ඩායමට නිරෝෂා නිර්මාණි, විහංඟි සශංතිකා සහ එච්.එන්.ටී.ප්‍රනාන්දු එක්වූහ.

වොලිබෝල්

අවසන් වරට පැවැති සාග් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට ඊයේ ලෝකඩ පදක්කම්වලින් සෑහීමට පත්වීමට සිදුවිය. බංග්ලාදේශය සමග පැවැති එම තරගයේ පළමු වටය 25-23ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර යළි තරගකාරී ක්‍රීඩාවක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අනෙක් තරග වට 3 ම ජය ගැනීමට සමත් වූහ. එහි ලකුණු තත්ත්වය වූයේ 25-20ක්, 25-16ක් සහ 25-21කි. ලෝකඩ පදකකම සඳහා පැවැති කාන්තා තරගයේදී ශ්‍රී ලංකා පිල හමුවේ මාලදිවයින වට 3-0කින් පරාජයට පත්විය. එහි ලකුණු තත්ත්වය 25-13, 25-18 සහ 25-08ක් විය.

ටෙනිස්

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගවූ ටෙනිස් ඉසව්වේ මූලික වටයේදී කේවල තරගවලින් ජයග‍්‍රහණ අත්කර ගැනීමට අනීකා සෙනෙවිරත්න සහ අන්ජලිකා කුරේරා සමත්වූ අතර අලානා සෙනෙවිරත්න සහ රුක්ෂානා විජෙසූරිය යුගල ඉසව්වේ කාන්තා තරගය ජය ගත්හ.

පාපන්දු

කාන්තා පාපන්දු කණ්ඩායම තරගාවලිය ආරම්භ කරමින් අද (3) ෆොකාරාහිදී සත්කාරක නේපාලයට එරෙහිව තරග බිමට පිවිසෙයි. මේ තරගාවලියට ඉන්දියාව සහ මාලදිවයින ද එක්ව සිටී.

මලල ක්‍රීඩා

සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා ඉසව්ව වන මලල ක්‍රීඩා ඉසව් අද කත්මන්ඩු නුවර දසරාත් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනකු තරග බිමට පිවිසෙති. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගන්නා මිටර් 100 ඉසව්වට පිළිවෙළින් හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, ලක්ෂිකා සුගන්ධි සහ අමාෂා ද සිල්වා එක්වන අතර මීටර් 1500 පිරිමි ඉසව්වට කුපුන් කුෂාන්ත සහ සංජීව ලක්මාල්ද, කාන්තා ඉසව්වට ගයන්තිකා අබේරත්න ද එක්වන අතර උස පැනීමේ ඉසව්වට උෂාන් තිවංක සහ ඩී.කේ.රණසිංහ, මීටර් 10000 ඉසව්වට හිරුණි විජේරත්න ස ඒ.එන්.එල්.ආරියදාස, කවපෙත්ත විසිකීමේ ඉසව්වට සමිත් ප්‍රනාන්දු සහ තාරිකා ප්‍රනාන්දු එක්වෙති.

ක්‍රිකට්

ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ඊයේ නේපාලය සහ මාලදිවයින අතර තරගයෙන් ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද තරග බිමට පිවිසෙයි. කාන්තා කණ්ඩායම ෆොකාරා හිදී බංග්ලාදේශයට එරෙහිව තරග වදින අතර පිරිමි කණ්ඩායම සත්කාරක නේපාලයට එරෙහිව තරග වැදීමට නියමිතය.

ඊයේ පැවැති කාන්තා පළමු තරගයේදී මාලදිවයිනට එරෙහිව වාර්තාගත ජයක් අත්කර ගැනීමට සත්කාරක නේපාලය සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් මාලදිවයින් පිල ඕවර 10.1කදී ලකුණු 16කට සීමාකළ නේපාල ක්‍රීඩිකාවෝ පන්දු 5කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කිසිවකුත් නොදැවීය. නේපාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අංජලී චාන්ද් ඕවර 2.1කදී කඩුලු 6ක් බිඳ දැම්මේ ලකුණු ලබා නොදෙමෙනි. මේ ලකුණු සංඛ්‍යාව විස්සයි20 පිටියේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වෙයි.

පාපැදි-වෙඩි තැබීම

අද (3) පාපැදි ඉසව්ව ගොකර්නා ආරම්භ වන අතර වෙඩි තැබිමේ ඉසව්ව ආරම්භ වන්නේ සට්ඩොබටෝහිදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *