ජනතා ප්‍රශ්න යොමු කරන්න මහජන සම්බන්ධතා අංශයක්

(කොළඹ, ලංකාපුවත්) –මහජනතාවගේ ප්‍රශ්න හා ගැටුලු පහසුවෙන් යොමු කිරීමට හැකිවන අයුරින් නව මහජන සම්බන්ධතා අංශය ආරම්භ කළ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

යම් පුද්ගලයකු ප්‍රශ්නයක් ඉදිරිපත් කළහොත් එය අදාළ අංශයට යොමු කැර එය සිදු වුණා ද නැද්ද යන්න මින් සොයා බලන බවද හෙතෙම කීවේය.

ඒ අනුව යම් පුද්ගලයකුට කිසියම් හෝ ප්‍රශ්නයක් ඇති වී ඇත්නම් එම සිද්ධිය මෙම අංශයට යොමු කරන ලෙස, අරලියගහ මන්දිරය අසල අංක 101, ආර්. ඒ ද මෙල් මාවතේ ස්ථාපිත කළ ‘මහජන සම්බන්ධතා අංශය’ ඊයේ (03) සුබ මොහොතින් ආරම්භ කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

මීට පෙරද මෙවැනි අයුරින් ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්න පිළිබඳ සොයා බැලූ බව පැවැසූ අගමැතිවරයා මෙය පුරුදු වෙන්න සිදු කරනු ලබන දෙයක් නොවුණ ද ජනතාවගේ පහසුවත්, එය තව තවත් සාර්ථක කැර ගැනීමත් අරමුණු කැර ගනිමින් මෙය ස්ථාපිත කළ බව පැවැසීය.

අගමැති කාර්යාලයට, නිවෙසට වගේම අරලියගහ මන්දිරයටත් දිනකට විශාල පිරිසක් පැමිණෙනවා විවිධ ප්‍රශ්න අරගෙන. ඒ නිසා ඒ සියලු දෙනාටම දැන් පහසුවෙන් මෙම ස්ථානයට ඒ දේවල් බාර දිය හැකි යැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැති ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් මණ්ඩල ලේකම් එස් .අමරසේකර මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *