ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපතිනිය හා අධිකරණ ඇමති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපතිනි Joanna Kempkers මහත්මිය හා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර හමුවක් ඊයේ(03) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය මගින් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහාත් ,මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහාත්, ඉදිරියේදී දියත් කිරීමට බලාපොරොත්තු වන කටයුතු පිළිබදව අමාත්‍යවරයා විසින් තානාපතිවරිය දැනුවත් කළේය. බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය හා බන්ධනාගාර තුළ යටිතල පහසුකම් වර්ධනය කිරීම කෙරෙහි ප්‍රමුඛතාවයන් යොදවන බවත්, නඩු ප්‍රමාද වීම වැළැක්වීම සදහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම තමා වෙත පැවරී ඇති අභියෝගයක් බවත්, එහිදී අමාත්‍යවරයා පැහැදිලි කරනු ලැබීය.

නව අමාත්‍යවරයා වෙත සුභ පැතුම් එක් කළ තානාපතිවරිය අධිකරණ අමාත්‍යවරයා කරනු ලබන සේවාව ඉටු කිරීමට සිය රටෙන් ලැබිය යුතු යම් සහායක් ඇත් නම් එය ලබාදීමට සුදානම් බවත් ප්‍රකාශ කළේය.
අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමාට අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බවත්, යුක්තිය පසිදලීමේ දි ඇති වන නඩු ප්‍රමාදය නිසා ජනතාව මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, එබැවින් නඩු කටයුතු කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත්, දැනටමත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම තත්වයකට පත් කිරීමට තමා පියවර ගෙන ඇති බවත්, ප්‍රකාශ කළේය.

එසේම අධිකරණ කටයුතු සදහා අවශ්‍ය මුලික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා බන්ධනාගාර ගත වුවන්ගේ සුභ සාධනය හා ඔවුන්ට වඩා හොද වටපිටාවක් තුළ සිය කාලය ගත කිරීමට ඉඩ සලසා දීම ශිෂ්ඨ සම්පන්න සමාජයක වගකීමක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *