කෘෂි නිෂ්පාදනය නංවන්න ජනපතිගෙන් ජනතාවට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකාර්මික වගාවන් සඳහා අවශ්‍ය වර්ෂාව ලැබෙමින් යහපත් දේශගුණික තත්ත්වයක් උදා වී ඇති බැවින් 2019/ 2020 මාස් කන්නයට අදාළව බඩ ඉරිඟු, මුං ඇට, කවුපි වැනි භෝග මෙන්ම වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කරමින් ජාතික ආර්ථිකයේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කිරීමට දායක වන ලෙසත් ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා රටින් ගලා යන විදේශ විනිමය රටේ ගොවි ජනතාවගේ ආදායම බවට පත් කර ගැනීමට කැපවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටේ වගා කළ හැකි ආහාර භෝග වගාකරමින් අගය එකතු කොට දේශීය ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමටත්, ගුණාත්මක බවින් යුත් ආහාර සැපයීම වැඩි කර ගැනීමටත්, අගය එකතු කළ හැකි කෘෂිකාර්මික නිෂ්පාදන වශයෙන් ශ්‍රී ලංකා සන්නාමය සහිතව අපනයනය කිරීමටත් හැකියාවක් පවතින බව ජනාධිපති කාර්යාලය ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සීනි, කිරිපිටි, තිරිඟු, කුළුබඩු, එළවළු තෙල්, ධාන්‍ය වර්ග, සත්ත්ව ආහාර පමණක් නොව එදිනෙදා පරිභෝජනයට ගනු ලබන අල, වියළි මිරිස්, ලොකු ලූණු, රතු ලූණු, මුං ඇට, උඳු, කුරක්කන් වැනි දෑ මෙන්ම කහ, සියඹලා, කොමඩු, උම්බලකඩ හා හාල්මැස්සන්ද වාර්ෂිකව රටට ආනයනය කරන බවත් මේ සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 1,781ක් වැය වන බවත් මහබැංකු වාර්තා පෙන්වා දෙයි. එහෙත් මෙම භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි නම් මේ සා විශාල විනිමයක් වැය කිරීමට අවශ්‍ය නොවන බවත් ඒවා රට තුළ නිෂ්පාදනය කරගත හොත් ගොවි ජනතාවට විශාල ආදායමක් මෙන්ම විශාල රැකියා ප්‍රමාණයක්ද උත්පාදනය කරගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − sixteen =