ගුරුපත්වීම් ලබාදෙන මුවාවෙන් මුදල් ගසාකන වංචනිකයෝ – ප්‍රවේසම් වන්න

(කොළඹ, ලංකාපුවත්) – පාසල්වල ගුරුපත්වීම් ලබාදෙන බවට දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව නොමඟ යවමින් කූට ලිපි ලේඛන සකස් කර, එක් ගුරු පත්වීමක් ලබාදීමට රුපියල් 1,50,000ක් බැගින් ලබාගනිමින් සිදුකරන ලද සැලසුම්සහගත වංචනික වැඩපිළිවෙළක් සම්බන්ධ ව ‍පසුගිය දා (08) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත තොරතුරක් ලැබී තිබේ.

ස්වාමීන් වහන්සේ නමක් විසින් ඉතා වගකීම්සහගත ව, ලබා දෙන ලද මෙම තොරතුර සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යවරයා, මෙම සිදුවීම සම්බන්ධ ව රහස් පොලිසිය දැනුවත් කරන ලද ඇත

ඒ අනුව, මේ වනවිට සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද හැකි වී ඇත.

රාජාංගනය ප්‍රදේශයේ තරුණියකට ගුරුපත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති අයවලුන් අදාළ ගම්බද තරුණිය සහ ඇයගේ මව්පියන් වෙත දැනුම් දී ඇත්තේ අද දින ගුරුපත්වීම් ලබාදීම අමාත්‍යවරයා අතින් ම‍ සිදුකරන බවයි.

සිද්ධියට අදාළ සැකකරුවන්ට මේ සම්බන්ධව තොරතුරු අමාත්‍යාංශය තුළ සිටින කණ්ඩායමක් විසින් ම ලබා දී ඇති බව ද මේ වනවිට අනාවරණය වී ඇති අතර, මෙවැනි තොරතුරු ලබාදීම් සහ ජනතාව ‍නොමඟ යවමින් මුදල් ගසාකෑම් පසුගිය වසර කිහිපය මුඵල්ලේම ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු ද මේ වනවිට හෙළිවෙමින් පවතී.

මෙම කරුණු පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාව වෙත දැනුම් ‍දී සිටිනුයේ, එවැනි කවර හෝ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට නොරැවටෙන ලෙසත් එවැනි ව්‍යාජ පොරොන්දු වෙමින් මුදල් ගසාකන වංචනිකයන් සම්බන්ධ තොරතුරක් ලද විගස වහාම අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ද දන්වා සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *