සිරිපා වන්දනා සමය ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) –ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීම හා භික්ෂුණි ශාසනය මෙරට ස්ථාපිත කිරීම ඇතුළු ඓතිහාසික සංසිද්ධීන් රැසක් සිදු වූ උදුවප් පුන් පොහෝ දිනය යෙදුණු ඊයේ (11) දින සිට මෙවර සිරිපා වන්දනා සමය ඇරඹේ.

පෞරාණික චාරිත්‍ර ගරු කරමින් දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් ශ්‍රී පාද උඩ මළුවේ පැවැති ආගමික වතාවත් වලින් සිරිපා සමය ආරම්භ වීම ඊයේ (11) සනිටුහන් කෙරිණි.

ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික වතාවත් සිදු කෙරුණි. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව,සමන් දේව ප්‍රතිමාව,දේව අභරණ සහ පුජා භාණ්ඩ ඊයේ (11) අලුයම මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩම කරනු ලැබීය.

පැල්මඩුල්ල,රත්නපුර,අව්ස්සාවේල්ල,යටියන්තොට,හැටන්,මස්කෙළිය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහරක්ද පැල්මඩුල්ල, රත්නපුර, ශ්‍රි පාලාබද්දල, රජ මාවත ඔස්සේ තවත් පෙරහැරක්ද ගමන් ගත්තේය. රත්නපුර, කුරුවිට, එරත්න ඔස්සේත් පැල්මඩුල්ල, බලංගොඩ, බගවන්තලාව හරහා නල්ලතන්නිය ඔස්සේත් අනෙක් පෙරහර ගමන් කරනු ලැබීය.

ශ්‍රි පාදස්ථානය පූජා නගරයක් බවට ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කිරිමත් සමඟ තායිලන්තයේ සිට මෙරටට වැඩ කරන ලද බුද්ධ ප්‍රතිමාවක් ද ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට සමගාමීව ශ්‍රි පාදස්ථානාධිපති ධම්මදිනන නාහිමියන් විසින් ශ්‍රි පාද උඩමළුවේදී නිරාවරණය කරනු ලැබූහ.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කළ උදුවප් පුන් පොහෝ දින සිල් සමාදන් වීමට සහ ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේත්,රත්නපුර මාර්ගය ඔස්සේත් දිවියිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිණ සිටියහ.

සිරිපා කරුණා කිරීමට පැමිණිමේදි ශ්‍රි පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා පැමිණෙන ලෙසත් එහිදී පරිසරය ආරක්ෂා කිරීමට මූලිකත්වය දෙන ලෙසත් ධම්මදින්න නාහිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍යය යටිතල පහසුකම් සැලසීමට නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කිරීම ඔස්සේ විධිමත් වැඩපිළිවළෙක් සකස් කර තිබේ.සිරිපා සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වු මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2020 වෙසක් පුන් පොහොය දිනයෙන් නිමාවට පත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *