යුරෝපා සංගමයේ මෙරට තානාපති අගමැති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චායිබී මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණි. ඒ අරලියගහ මන්දිරයේදී ඊයේ(16) දිනයේ දීය.

යුරෝපා සංගමයේ තානාපතිවරයා සමග ප්‍රංශය, ඉතාලිය, රොමේනියාව හා ජර්මනියේ තානාපතිවරුන් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණි.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින සමීප සම්බන්ධය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ කොමිසම යටතේ සිදුවන කාර්ය භාරයන් ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඇගයීමට ලක්විය.

2017 වසරේදී ජී එස් පී ප්ලස් සහනය යළි ලබා දීමට කටයුතු කිරීම මෙන්ම ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයනය සඳහා පැවති තහනම 2016 වසරේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ද ඒ මහතා සිය ප්‍රශංසාව යුරෝපා තානාපතිවරුන් වෙත පළ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවා වන යුරෝපා සංගමය සමග සබඳතා වර්ධනය කර ගැනීමට එම ක්‍රියාමාර්ග ඉවහල් වූ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සියලු තානාපතිවරුන් නව රජය වෙත සිය සුබාශිංසන මෙහිදී පිරිනැමීය. පසුගිය ජනාධිපතිවරණයේදී යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්‍ෂණ දූත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම අතර තිබූ සාර්ථක සහයෝගීතාව යුරෝපා සංගමයේ තානාපතිවරයා ඉස්මතු කර දැක්වූවාය. ඉදිරි මහ මැතිවරණයේදී ද යුරෝපීය නිරීක්‍ෂකයන් එවීමේ කැමැත්ත පිළිබඳව ද ඒ මහතා මෙහිදී අදහස් දක්වන ලදි. ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ මැතිවරණයේ පාරදෘෂ්‍යභාවය රැකීම සඳහා එය ඉතා වැදගත් පියවරක් වන බවයි.

මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා සහයෝගය දැක්වීම මෙන්ම ආයෝජකයන් ගෙන්වා ගැනීමට උපකාර කිරීමට කටයුතු කරන බව ද යුරෝපා තානාපතිවරයා කියාසිටියේය. සාකච්ඡාවට සහභාගි වූ සියලු තානාපතිවරුන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන හා සංචාරක කර්මාන්තය සඳහා සහයෝගය දැක්වීමට සිය රටවල් කැමැත්තෙන් පසුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =