ජනතාවට විවේකී සුවයට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –නගර අලංකරණයට සහ ජනතාවට විවේකී සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත්කරන ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් ඇමැති අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

මේ අනුව කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (Floating Market) පිළිසකර කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

පසුගිය වසර හතරහමාරක කාලය තුළ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයෙහි නිසි පරිදි නඩත්තු කටයුතු සිදුනොවූ නිසා වෙ‌ෙළඳසැල් රැසක් වසා දැමීමට එම වෙළෙඳසැල් හිමියන්ට සිදුව තිබේ. ඒ ආකාරයට වෙළෙඳසැල් සියයට අසූවක් පමණ වසාදැමීමට සිදුවූ බව එම වෙළෙඳසැල් හිමියන් විසින් පෙන්වා දෙන ලදී.

මීට අමතරව පාවෙන වෙළෙඳ සැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප‍්‍රශ්න ද මතුවී ඇත.

මෙම සියලූ කරුණු ගැන අවධානය යොමු කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙසයි. ඒ අනුව කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නඩත්තු කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා සහ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහත්වරුන්ගේ උපදෙස් අනුව මේ දිනවල සිදුකෙරේ.

වර්තමාන ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඉදිකෙරුණු කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළේ 2014 වර්ෂයේ අගෝස්තු 25 වනදාය. රටේ උරුමය, දේශීය නිෂ්පාදන, වස විසෙන් තොර ආහාර ඇතුලූ කරුණු කිහිපයක් ගැන උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. වෙළෙඳසැල් 103 කින් සමන්විත පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය වු මුදල රුපියල් මිලියන 312කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 1 =