පාඨලී අත්අඩංගුවට ගැනීම කිසිසේත් දේශපාලන පළිගැනීමක් නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම කිසිසේත් දේශපාලන පළිගැනීමක් නොවන බවත්, දේශපාලන පළිගැනීම් සඳහා නීතිය යොදා ගැනීම හෝ නීතිය නැවීම ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ කිසිසේත් සිදුනොවන බවත් සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයා හා සම්බන්ධ රිය අනතුරක් පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කර තිබූ නියෝගයකට අනුව බවත් ඇමැතිවරයා කියයි.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා,

රජය වෙනුවෙන් මා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි කිසිම දේශාපලන පළිගැනීමක් සඳහා නීතිය යොදා ගැනීම, නීතිය නැවීම ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිදුවෙන්නේ නෑ. එයට හේතුව නීතිය නැවීම, නීතියට පටහැනි ලෙස සියලු ම දේශපාලන පක්ෂ නායකයන්, දේශපාලකයන් ඉතාම දරුණු ලෙස සිරගත කිරීම්, ඇප නොදී දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කර තැබීම් යනාදිය පසුගිය රජයේ ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තිය අපි හෙළා දැක්කා ඉතා පිළිකුලෙන්. ඒ නිසා අපි ඒ ප්‍රතිපත්තිය කිසිසේත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ මහත් ආන්දෝලනාත්මක රිය අනතුරක් සිදුවුණා. මේ රිය අනතුරට භාජනය වූ දරුවා මගේ මැතිවරණ කොට්ඨාසයේ මීගොඩ ප්‍රදේශයේ අද ආබාධිත තත්ත්වයට පත්ව තිබෙන දරුවෙක්. ඒ අවස්ථාවේ ඇතිවූ භීෂණය මොනතරම් බරපතළ ද කියනවා නම් ඒ දරුවාගේ මවුපියන් මට එවා තිබූ පණිවුඩය තමයි මොනම හේතුවක් නිසාවත් විපක්ෂ මන්ත්‍රීවරයකු වූ මට කිසිම අවස්ථාවක මගේ මැතිවරණ කොට්ඨාසයේ සිටින ඒ දරුවා බලන්න එන්න එපා ඒ අයට කරන උදව්වක් විදිහට කියලා. එතරම් භීෂණයට පත් කරලා තිබුණේ. රාජ්‍ය බලය, පොලිස් බලය විවිධ අයුරින් අයුතු ලෙස භාවිතා කරලා තමයි මේ අනතුර විවිධ පාර්ශ්ව වෙත පටවා චම්පික රණවක මහතා ක්‍රියාකළ ආකාරය ගැන ඇසින් දුටු හා එය සිදුවූ ආකාරය පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා සම්පූර්ණ ව්‍යාජ ලෙස සාක්කි වෙනස් කර, වෙනත් පුද්ගලයන් මෙයට වගකිව යුතු බව දක්වා, රාජ්‍ය දේපළ අවභාවිතා කර මේ කටයුතු කළ බවට. එම පැමිණිල්ල අනුව නීතිපති තමයි නියෝග කර තිබෙන්නේ අපරාධ කොට්ඨාසයට පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේ කතානායකතුමාට දැනුම්දෙන්න උත්සාහ කර තිබෙනවා. නමුත් කතානායකතුමා ලංකාවේ ඉඳලා නෑ. ඒ නිසා දුරකථනයෙන් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාටත් දැනුම්දී තිබෙනවා නීතිපති නියෝගය අනුව අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා.
19 දින අධිකරණයට ඉදිරිපත් කළ පසු යුක්තිය පසිඳලීමේ කටයුතු ආරම්භ වේවි. ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත්විමක් සිදුවෙන්නේ නෑ. පසුගිය රජය සමයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාවලිය අනුගමනය කරන්නේ නෑ. උදාහරණයක් විදිහට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් පොතේ අස්සන් කිරීමට තිබියදී එක අවස්ථාවක එසේ අස්සන් කිරීමට කටයුතු කළේ නෑ කියලා අත්අඩංගුවට අරන් ඇප නැතිව දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටියා. ඒවා තමයි දේශපාලන පළිගැනීම්. එහෙම කරන ක්‍රමයක් නෑ. පැමිණිල්ලක් ලැබුණාම පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතිය තිබෙනවා ඕනෑම කෙනකුගෙන් ප්‍රශ්න කරන්න අත්අඩංගුවට ගන්න.

තීන්දු ලබා දී ඇති වෙනත් නඩු ද මෙසේ යළි විභාගයට ගැනීමට කටයුතු කරන්නේදැයි මෙහිදී කළ විමසුමකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් එසේ කළ හැකි බවයි.

‘ඔව් පැමිණිල්ලක් ලැබුණොත් පුළුවන්. මොකද භීෂණය ක්‍රියාත්මක වූ ඒ යුගයේ ඇතැම් අය රට හැර ගොස් තිබුණා. ඇතැමුන්ට නිවෙසින් එළියට බහින්න බැරි තත්ත්වයක් තිබුණේ. ඇතැමුන් තමන්ට කියන්න තිබුණ දේ කිව්වේ නෑ. සමහරුන්ට ජීවිතාරක්ෂාව සඳහා බොරු සාක්කි දෙන්න වුණා. ඒ අයට ඒ ගැන නැවත පැමිණිලි කරන්න පුළුවන්. ඒවා ගැන යළි පරීක්ෂණ කරන්න පුළුවන්. අපි මහපොළ අරමුදලේ සිදුව ඇති වංචා ගැනත් ඒ වගේ පැමිණිල්ලක් සිදුකළා’ යනුවෙන්ද ඇමැතිවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − 4 =