පාඨලී චම්පික රණවක රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – සන්දීප් සම්පත් නම් තරුණයා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්කර පලායාමේ හා රියදුරු ලෙස වෙනත් අයෙකු ඉදිරිපත් කිරීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා මහත්මිය ඊයේ (18) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට ලබාදුන් උපදෙස් මත හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

2016.03.14 දින පාඨලී චම්පික ගමන්ගත් ජීප් රථයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සන්දීප් නම් තරුණයා ගැටී බරපතල තුවාළ සිදුවූ අතර, එම ජීප් රථයේ රියදුරු ලෙස තුසිත කුමාර යන අය ඉදිරිපත් කර තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඉකුත් 13 දින සිද්ධිය විමර්ශනය යළි ආරම්භ කරන බව අධිකරණයට දැනුම් දෙමින් පාඨලී චම්පික රණවකගේ හා තුසිත් දිලුම් කුමාර යන අයගේ විදේශ ගමන් ද තහනම් කළේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා රෝහල් ගත කර තිබූ අතර හිටපු අමාත්‍යවරයා අතින් සිදුවූ එම අනතුර ඔහු අතින් සිදුවූවක් නොව ඔහුගේ රියදුරු අතින් සිදුවූ එකක් බව පෙන්වා රියදුරු ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර එම සත්‍ය සිද්ධි යටගසා පොලීසියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර හිටපු අමාත්‍යවරයා ඔහුට අවශ්‍ය පරිදි සියලු චෝදනාවලින් නිදහස්ව දේශපාලන ශක්තිය මත කටයුතු කර තිබිණි. මේ අතර මහජනතාවගෙන් ද හිටපු අමාත්‍යවරයාට විරුද්ධව සත්‍ය සිද්ධිය යට ගැසීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවත් එවකට පැවැති රජය මඟින් ද එම සියලු චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට විරුද්ධව කිසිම නීතිමය පියවරක් නොගෙන කටයුතු කර තිබිණි.

කාලයක් තිස්සේ සත්‍ය වසන්කර හිටපු අමාත්‍යවරයාගේ රියදුරාට නොකළ වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි.

මේ අතර එම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඉකුත්දා නැවත පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී හිටපු අමාත්‍යවරයා විසින් සිදුකළ එම අනතුර සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් සාක්ෂි සැලකිය යුතු ප්‍රමාණයක් ද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අනාවරණය කරගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත ලබාදීමෙන් පසු පාඨලී චම්පික රණවක මහතා බරපතළ අනතුරක් සිදුකිරීම, එම අනතුර වසන් කිරීම, නීතියට පටහැනි ලෙස කටයුතු කිරීම, එම අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුලු චෝදනා ගණනාවක් මත අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේම අධිකරණය වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කිරීමට පියවර ගෙන තිබිණි.

මේ අතර හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ පොලිස් නිලධාරින්ට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් සහ හිටපු අමාත්‍යවරයාගේ හිතවතුන්ගෙන් දැඩි ලෙස රාජකාරියට බාධා කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

එම පොලිස් නිලධාරින් අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ කරුණු ඉදිරිපත් කළද හිටපු අමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයන් එම පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට දැඩි ලෙස අපහාසාත්මක ලෙස කතාකිරීම හූතැබීම ඇතුළු සිය රාජකාරියට ඉතාමත් පහත් ලෙස කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බවත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + four =