මහනාමට හා පියදාසට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –කන්තලේ සීනි සමාගමට අයත් අබලි යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ දි රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීමට වරදකරු වු හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද(19) නියම කෙරේ.

ඒ අනුව විත්තිකාර මහනාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කළේය. ඊට අමතරව විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝග කෙරිණ.

නඩුවේ දෙවන විත්තිකරු වු පියදාස දිසානායක මහතාට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ අතර රුපියල් 55000ක දඩයක් ද නියම කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වැඩිදුරටත් නියෝග කරන ලදී

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජන ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම අවහිර කෙරුණු බවට චෝදනා කළේය. මෙම ආයෝජන ව්‍යාපෘතිය තුළින් යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ කන්තලේ සීනි කම්හල යළි විවෘත කිරීමට අවස්ථාව උදා වුව ද විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය අඩාල කෙරුණු බව ද ඔහු පෙන්වා දුනී.

මෙම ව්‍යාපෘතිය තුළින් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා වාර්ෂිකව සීනි මෙට්‍රික්ටොන් 72,000 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ අතර එහි අතුරු නිෂ්පාදනයක් ලෙස එතනෝල් ලීටර් මිලියන නවයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ බවද පෙන්වාදුන් රජයේ නීතිඥවරයා ඍජු රැකියා අවස්ථා එක්දහස් දෙසීයක් සහ වක්‍ර රැකියා අවස්ථා පහළොස් දහසක් පමණ මෙම ව්‍යාපෘතිය තුළින් උත්පාදනය කිරීමට නියමිතව තිබූ බව ද සඳහන් කළේය.

එහෙත් ඉන්දීය ජාතික ආයෝජකයෙකු වන කේ. පී. නාගරාජා නමැත්තාගෙන් මෙම විත්තිකරුවන් දෙදෙනා දිගින් දිගටම අල්ලස් අයද සිටීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අඩාල කරන ලද බව සදහන් කළ රජයේ නීතිඥවරයා මෙම විත්තිකරුවන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රටට විශාල අපකීර්තියක් සිදුවූ බවද සඳහන් කර සිටියා.

මෙම අල්ලස් මුදල විත්තිකාර මහානාම විසින් ලබාගන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් සිටියදී බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා කනිෂ්ඨ රජයේ නිලධාරීන්ට ආදර්ශයක් විය යුතු මෙවැනි ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් මෙලෙස නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කිරීම ඛේදජනක තත්ත්වයක් බවද අවධාරනය කළේය.

මෙම නඩුවට පාදකවන අල්ලස් මුදල මෙරට අල්ලස් ඉතිහාසයේ උසස් රජයේ නිලධාරියකු විසින් ලබාගත් ඉහළම හා වැඩිම අල්ලස් මුදල බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ ආකාරයේ වැරදි සිදු කිරීමට සැලසුම් කරන හා සූදානම් වන පුද්ගලයින්ට ද ආදර්ශයක් වන පරිදි දැඩි දඬුවමක් ලබා දෙන ලෙසට රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම අල්ලස් ලබා ගැනීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවට හේතු ගැන්විය හැකි පරිදි ජනතාවට පණිවිඩයක් ලබා දියහැකි තීන්දුවක් මෙම නඩුව තුළින් පැමිණිල්ල අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මෙම පුද්ගලයන්ගේ නිලය සහ ඔවුන් කර ඇති වරදේ ස්වභාවය අනුව ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙසයි රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වසර තිහකට වැඩි කාලයක් සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් බවත් ඔවුන් හෘද රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඔවුන්ට අඩු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය. විත්තිකාර මහනාම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙය අල්ලස් කොමිසම විසින් ගොතන ලද නඩුවක් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

මෙම විත්තිකරුවන් දරන නිලය හා ඔවුන් විසින් සිදුකරන ලද වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා විවෘත අධිකරණය අවධාරණය කර සිටියේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

2018 වසරේ මැයි මස 03 වන දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 100 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් කොළඹ පිහිටි සුපිරි හෝටලයක රථ ගාලේදී අත්අඩංගුවට ගනු ලැබිණ.

ඉන් අනතුරුව ඔවුන්ට එරෙහිව චෝදනා 24 ක් යටතේ අල්ලස් කොමිසම විසින් නඩු පවරනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *