(කොළඹ, ලංකාපුවත්) –අඩු ආදායම්ලාභීන් ඉහළ ආදායම්ලාභීන් බවට පත්කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන එළඹෙන ජනවාරි 15 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන නමුත් එය නොලැබෙන පවුල් නඟාසිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වන අතර දිළිඳු පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනාගෙන සුදුසු ක්ෂේත්රයන්හි පුහුණුව ලබා දී රැකියා අවස්ථා ලබා දීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කිරීමට නියමිතය.
ප්‍රථම අදියර යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරෙන බවත් රැකියා සඳහා බඳවාගන්නන් මෙහෙයවීමේ හා කළමනාකරණ කාර්යයන් සඳහා තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය කර, උපාධිධාරීන් 10,000කට පමණ කළමනාකරණ හා ක්ෂේත්‍ර මට්ටමේ අධීක්ෂණ තනතුරු සඳහා රැකියා අවස්ථාද මේ යටතේ විවෘත වන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ මෙහිදී බඳවා ගැනීම් සහ පුහුණුවීම් සිදු කෙරෙන අතර මෙම ව්‍යාපෘති අදහස මැතිවරණ මෙහෙයුම් ක්‍රියාවලියේදී මතු වූ අදහසක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.
මේ මගින් වාර්ෂිකව කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා වැය කෙරෙන රුපියල් මිලියන 2000ක මුදල පහළ මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.