ඩෙංගු පාලනයට ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා ගතයුතු කඩිනම් වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා ගතයුතු කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරිම හා ගත යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාවේ දී ඩෙංගු මර්දන වැඩසටහන් සදහා ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු අතර, මෙහිදී විශේෂයෙන්ම ජනතාව ඩෙංගු මදුරු මර්දන කටයුතු පිළිබද දැනුවත් කිරිම හා උනන්දුව ඇති කිරිම සදහා රූපවාහිනි, ගුවන් විදුලි, මුද්‍රිත හා සමාජ මාධ්‍යවල සහාය ජාතික කර්තව්‍යක් සේ සළකා ලබාගැනීමේ අවශ්‍යතාවය ද සාකච්ඡාවට ගැනුනි. ඩෙංගු මදුරු මර්දන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වි‌ශේෂිත පරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට පිළිබදව ද අවධානය යොමු විය.

විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේ දී හෙළි වූ කරුණක් වන්නේ පාසල්, ඉදිකිරීම් වැඩ බිම් සහ පොදු ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවධානම් ස්ථාන ලෙසයි. ඒ බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා කරුණු පැහැදිලි කළ අතර, ඒ අනුව ඉදිකිරීම් වැඩ බිම් ස්ථානවල ජලය එක්රැස්වීම වැළෑක්වීම සදහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ඇතුලත් චක්‍ර ලේඛයක් ඉදිකිරීම් අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ද ප්‍රකාශ කරන ලදි.

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය…

“අද දින අමාත්‍යාංශය මට්ටමින් ඩෙංගු මදුරු මර්දනය කිරිම සදහා ගත යුතු කඩිනම් වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදාල නිලධාරීන් සමග දීර්ඝව සාකච්ඡාවක් පැවැත්වූවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින නිසා තමන්ගේ පරිශ්‍ර පිරිසිදුව තබා ගනිමින් ඔබ සතු වගකීම ඉටු කරන්න කියලා. විශේෂයෙන් පොදු ස්ථාන වන පාසල්වල පිරිසිදු භාවය, ආගමික ස්ථානවල පිරිසිදුභාවය, සේවා ස්ථානවල පිරිසිදුභාවය රැක ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. මෙම රෝගය ජිවිත අවධානමක් සහිත රෝගයක් නිසා ඩෙංගු මර්දනය සදහා රටේ සියලුම ජනතාවගේ දායකත්වය අත්‍යාවශ්‍ය වනවා. එසේ වුවහොත් අපට පුළුවන් වනවා ඉතා ඉක්මණින් ඩෙංගු මර්දනය කරන්න. අමාත්‍යාංශය වශයෙන් ඩෙංගු මදුරු මර්දනය සදහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි දැනටමත් ගෙන තිබෙනවා. එම කටයුතු සාර්ථක කර ගැනීම සදහා පොදු ජනතාවගේ සහයෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *