කාදිනල් හිමිපාණන්ගෙන් විදුලිබල ව්‍යාපෘති ගැන ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සඳහා මේ වනවිට යොදා ගන්නා ගල්අගුරු, පොසිල ඉන්ධන වැනි බලශක්ති මුලාශ්‍ර භාවිතය නිසා අපේ රටේ පරිසරයට විශාල හානියක් සිදුවේ. එමෙන්ම ඕසෝන් ස්ථරයටද, තවත් අතෙකින් මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන්ට ද එමගින් එල්ල කරන බලපෑම ඉමහත් හෙයින් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් ප්‍රකාශ කළේය.

උන්වහන්සේ එම අදහස් පළ කළේ අද (23) පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කාදිනල් හිමිපාණන් බැහැදැකීම සඳහා ආච්බිෂෝප් මන්දිරය වෙත ගිය අවස්ථාවේ දීය.

පසුගිය කාලයේ දී කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ඉදි කළ නොරොච්චෝළේ ගල් අගුරු බලාගාරය නිසා මේ වනවිට කල්පිටියේ ජනතාව පරිසර දූෂණය නිසා ඇති වන ගැටළු රැසකට මුහුණ දී ඇතැයි පැවසූ පියතුමන්, එමනිසා තවදුරටත් ගල්අගුරු බලාගාර ඉදි කිරීමට ඉඩ නොදී හැකිතරම් පරිසර හිතකාමී විදුලි උත්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස පැවසීය.

අප රටේ විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඩීසල් හා ගල්අගුරු බලාගාරවලට ප්‍රමුඛත්වය ලබාදීම මගින් දැඩි පාරිසරික හානියක් සිදුවන බව පැවැසූ උන්වහන්සේ, තමන් සමග පරිසරවේදීන් පවා මේ සම්බන්ධයෙන් කරුණු සැළකර ඇති බව ප්‍රකාශ කළේය. විකල්ප විදුලිබල උත්පාදන ව්‍යාපෘති කෙරෙහි අප රටේ වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීම ගැටළුවක් යැයි පැවසූ උන්වහන්සේ වෙනත් රටවල සාර්ථක ලෙස භාවිතා කරන සූර්ය බලය හා සුළං බලය මෙන්ම මුහුදු රළ යොදා ගැනීම මෙතෙක් අපේ රටේ ඒ සඳහා පියවර ගෙන නොමැති වීම කණගාටුවට කරුණක් බව ද කීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පසුගිය සතියේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හමුවූ අවස්ථාවේ එතුමා පවා ප්‍රකාශ කළේ හරිත බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර ඒ සම්බන්ධ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස එතුමා තමන්ට මෙන්ම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි. 2030 වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70ක් හරිත බලශක්ති උත්පාදනයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබුණත් ලබන වසරේ දීම එම වැඩපිළිවෙළ ඇරඹීමට තමන් පියවර ගෙන සිටින බවත් අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *