මහජන සාමයට ආරක්ෂක අංශ කැඳවමින් ගැසට් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, පසුගියදා(21) නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රට පුරා ප්‍රදේශ රැසක මහජන සාමය පවත්වාගෙන යාම සන්නද්ධ හමුදාවලට පැවැරීය.

ඉහත කී 2154/54 ගැසට් පත්‍රයට අනුව මෙසේ සඳහන් වේ,’මහජන ආරක්ෂක ආඥා පනතේ 40 වන පරිච්ඡේදයේ 12 වන වගන්තිය අනුව මට පැවැරී ඇති බලතල අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම 2019 දෙසැම්බර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කොටසේ විශේෂයෙන් සඳහන් කොට ඇති අය ඇතුළු සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන්ට දෙවැනි කොටසේ විශේෂයෙන් සඳහන් කොට ඇති ප්‍රදේශ ඇතුළු රට පුරා මහජන සාමය පවත්වාගෙන යන ලෙස මෙයින් නියම කොට ප්‍රකාශ කරමි’. ඒ අනුව පිළිවෙළින් ශ්‍රී ලංකා යුද හමුදාවට, නාවුක සහ ගුවන් හමුදාවන්ට, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම සහ එම ප්‍රදේශවලට අයත් සමුද්‍ර කලාප සහ නුවර, මාතලේ, නුවරඑළිය, කිළිනොච්චි, වවුනියා, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර සහ කෑගල්ල යන ප්‍රදේශවල මහජන සාමය ආරක්ෂා කිරීමට නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *