රාජ්‍ය ආයතන කිහිපයකට සභාපතිවරුන් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු නිර්දේශ මත තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව සභාපතිවරු පත් කර තිබේ.

මෙම කමිටුවේ සභාපතීත්වය දරනුයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධරියෙකු වු සුමිත් අබේසිංහ මහතායි.

ඒ අනුව මේ වනවිට ජනාධිපති ලේකම්වරයා වෙත , රාජ්‍ය ආයතන සඳහා පුද්ගලයින් පත් කිරීමට අදාළ නිර්දේශිත නාම යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එළඹෙන 31 වනදාට ප්‍රථම සියලු රාජ්‍ය ආයතන සඳහා නිර්දේශිත නාම ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබුණු අතර අදාළ තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීමද මේ වනවිට අවසන්ව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පත් කර ඇති අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පත් කර තිබේ.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස කමල් රත්වත්තේ මහතා සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජයම්පති මොල්ලිගොඩ මහතා මීට පෙර පත් කරනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *