නත්තල් උත්සවය හා නව වසර උදාව වෙනුවෙන් ගම්බිම් බලා ජනතාවගේ පහසුව සදහා ප්‍රවාහන සේවා

(කොළඹ, ලංකාපුවත්) – නත්තල් උත්සවය, 2020 නවවසර උදාව නිමිත්තෙන් කොළඹ සිට තම ගම්බිම් බලා ගමන් කරන මගී ජනතාවගේ පහසුව පිණිස ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය සේවය මෙන්ම අධිවේගී මාර්ග වල ප්‍රවාහන සේවා ශක්තිමත් කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගියදා ප්‍රවාහන අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැති අතර එහිදී උත්සව සමයේ ප්‍රවාහන කටයුතු සම්බන්ධව සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව 2019.12. 26 දින සිට 2020 ජනවාරි 01 දින දක්වා සියලුම ශ්‍රීලංගම බස් රථරියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.

කොළඹ පිටකොටුවේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ 30-100 දක්වා අමතර බස් රථ යෙදවීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන් හැටන්, බදුල්ල, නුවරඑළිය, වවුනියාව, හා යාපනය දක්වා එම අමතර බස් රථ ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම අධිවේගී මාර්ගයේ මාකුඹුර, කොට්ටාව, කඩවත, කඩුවෙළ, මාතර, ගාල්ල, මීගමුව, පර්යන්තර කරා උත්සව සමයේ උපරිම බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු යොදා තිබේ.

එසේම අද(23) සිට කොළඹ කොටුවේ සිට නුවර දක්වා විශේෂ සුඛෝපභෝගී දුම්රියක්ද, 24, 27, හා 29 යන දිනයන්හි දී බදුල්ල සිට කොළම දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් දුම්රිය සේවා ක්‍රියාත්මක අතර පවතින අයහපත් කාලගුනය හේතුවෙන් දුම්රිය මාර්ග නායයාම් නිසා අවහිර විය හැකි බැවින් ඒ සඳහා අමතර බස් රථ යෙදවීමට ද පියවර ගෙන තිබේ.

මගී ජනතාවට කිසිදු හිරිහැරයකින් තොරව ගමන් කිරීම සඳහා විදිමත් පරිදි ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව හා ජාතික ගමනාගමන කොමිසන් සභාවට උපදෙස් දෙනු ලැබීය. එමෙන්ම මගී ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩ පිළිවෙළක් අරඹන ලෙසත්, ගම්බිම් කරා යන මගී ජනතාව නැවත කොළඹට පැමිණීම දක්වා එම ප්‍රවාහන පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසත් දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *