අණ පනත් එපා කඩිනමින් සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – හදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

එවැනි අණ පනත් වේ නම් ඒවා සංශෝධනය කරන ලෙස ද උපදෙස් දෙනු ලැබීය.

විපතට පත්වූවන් උදෙසා වන සහන වැඩපිළිවෙළ සමාලෝචනය කිරිමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (23) පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. අනතුරුව ජනාධිපතිතුමා අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි අවත්නැන් වූවන් රැඳී සිටින සුබසාධන මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පළමුව රාජාංගනය යාය 2 ශ්‍රී දුටුගැමුණු විහාරය වෙත ගිය එතුමා එහි සිටින ජනතාව හමුවී සුහද කතා බහක නිරත විය.

විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන කඩිනමින් සම්පාදනය කළ යුතු අතර කිසිදු පුරවැසියෙකු අපහසුතාවට පත් නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ආපදා තත්ත්වය පහව යාමත් සමග නැවත පදිංචි කිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස ද අදාළ අංශ දැනුවත් කෙරිණ. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබීය. විහාරාධිපති මහමාන්කඩවල ධම්මසිරි හිමියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව රාජංගනය යාය 9 ගැමුණු පුර ශ්‍රී බෝධිරාජරාම විහාරයේ සුබසාධන මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ ද තොරතුරු විමසීය.ඔවුන් වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.විහාරාධිපති පූජ්‍ය ඉහළමුල්ලේ චන්දජෝති හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟද සුහද කතා බහක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *