ජනවාරි 01වනදා සිට බස්රථවලට සුභාවිත ගීත තැටියක්

(කොළඹ, ලංකාපුවත්) – මගී ප‍්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප‍්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ප්‍රවාහන කළමණාකරණ විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (24) සාකච්ඡාවක් පැවති අතර මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා එම කොමිසමට උපදෙස් දුන්නේය.

ජාතික ගමනාගමන කොමිසම විසින් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15000 කට නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයක් අනුව එකී සියලුම දෙනා සියයට 100 ක්ම දැනට එම බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කන්කරච්චලයක් බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම විසින් 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිත අතර ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් වන පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත.

අද දින මේ සම්බන්ධව පැවති සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ බස්රථවල ගීත වාදනය කළ හැකි උපරිම ඩෙසිබල් ප්‍රමාණය කුමක්දැයි ඒ පිළිබඳව දැනුමක් ඇති විද්වත් මණ්ඩලයක අනුමැතිය සහිතව ප්‍රකාශයට පත් කර එය ක්‍රියාත්මක කිරීම අනිවාර්යය කරන ලෙසයි. දැනට එම බස්රථවල වාදනය කෙරෙන ඇතැම් ගීත නිසා මගීන්ට මහත් අපහසුතාවයකට මුහුණ දීමට සිදුව ඇතැයිද එපමණක් නොව මගීන් රෝගීන් බවට පත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිසම විසින් හඳුන්වා දී තිබෙන එම ගීත පමණක් වාදනය කිරීමේ වැඩ පිළිවෙළ 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව සමාජ ක්‍රියාකාරිකයින් දෙපළක් විසින් බස්රථවල රියදුරන් කොනදොස්තරවරුන් මෙන්ම මගී ජනතාවද ධනාත්මක සිතිවිලිවලට යොමු කරන වැඩ පිළිවෙළක් සහිත යෝජනාවලියක් අමාත්‍යවරයාට භාරදෙනු ලැබීය.

ඒ අනුව මගී ප්‍රවාහන බස්රථවලට සුභාවිත ගීත සහිත සංයුක්ත තැටි ලබා දීමේ වැඩ පිළිවෙළ මෙම මස 31 දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *