ජාතික සත්වෝද්‍යාන 3ක වසර පහකදී සතුන් 806ක් මියගිහින්

(කොළඹ, ලංකාපුවත්) –දෙහිවල, පින්නවල, රිදීගම සෆාරි උද්‍යානය යන ජාතික සතත්වෝද්‍යානවල මහජන ප්‍රදර්ශනය සඳහා රඳවා සිටි සතුන් 806 දෙනෙකු පසුගිය වසර 05 තුළදී මිය ගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්තා අනාවරණය කරයි.

තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ කළ විමසීමකදී එම තොරතුරු අනාවරණය විය.

ඒ අනුව 2014 වසරේ සිට 2019 වසර දක්වා වසර 05ක කාලය තුළ ප්‍රවාහනයේදී ඇති වන ආතතිය, නියුමෝනියාව, ලේ විස වීම, ශරීරයේ වන දුර්වලතා යනාදී හේතු මරණ රැසකට පොදුවේ බලපා ඇති බව හෙළි විය.

මිය ගිය සතුන් සත්ත්වෝද්‍යාන අනුව වර්ග කිරීමේදී වසර 05ක් තුළදී දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් 576ක්, පින්නවල සතුන් 110ක්, රිදීගම සෆාරි උද්‍යානයේ සතුන් 117ක් සහ වෙනත් ස්ථානවල සතුන් 03ක් ආදී වශයෙන් මියගොස් තිබෙන බව තොරතුරු වාර්තා සඳහන් කරයි.

වර්ෂ අනුව සලකා බැලීමේදී 2014 වසරේදී සතුන් 33ක්, 2015 වසරේදී සතුන් 170ක්, 2016 වසරේදී සතුන් 182ක්, 2017 වසරේදී සතුන් 191ක්, 2018 වසරේදී සතුන් 135ක් සහ 2019 වසරේදී සතුන් 95ක් ආදී වශයෙන් මියගොස් ඇත.

මෙහිදී ප්‍රවාහන ආතතිය හේතුවෙන් මිය ගිය සතුන් අතර රිදියගම සත්වෝද්‍යානයේ ඩයමන්ඩ් ඩෝව් වර්ගයේ පක්ෂීන් තිදෙනෙකු, ඇෆ්‍රිකන් ලව් බර්ඩ් වර්ගයේ පක්ෂියෙකු, මුවන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

2014 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ පින්නවල සත්වෝද්‍යානයේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වන සතුන් 86ක් මියගොස් තිබෙන අතර මුව කුලයට අයත් සතුන් 34ක්, පක්ෂීන් 12ක්, සර්පයන් 6ක්, බිළාල කුලයට අයත් සතුන් 3ක්, හාවුන්2ක්, බූරුවන් 11ක්, ඉබ්බන් 2ක්, කිඹුලන් 5ක්, කබැල්ලාවන් 6ක් සහ දඬුලේනන්, උරුලෑවන්, උණහපුළුවන් හා වළසුන් 1 බැගින් මියගොස් තිබේ. එසේම මෙම සත්ත්ව උද්‍යානයේදී හාවුන් 24ක් මියගොස් ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ 2014 වසරේ පමණක් මුව කුලයට අයත් සතුන් 7ක්, පක්ෂීන් 6ක්, වඳුරන් 4ක් සහ එක් කොටියෙක්, සර්පයෙක් සහ අශ්වයෙක් මියගොස් තිබේ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ දෙහිවල සත්වෝද්‍යානයේ මියගිය සතුන් පිළිබඳ වසර 5කට අදාළව තොරතුරු ඉල්ලා සිටියද ලබාගත හැකි වූයේ එක් වසරකට අදාළ තොරතුරු පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + thirteen =