නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක්

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ දී සිදුවී ඇතැයි කියන වංචාවන් සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට තීරණය කර තිබේ.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාලව පුද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දී තිබුනි.

එහෙත් එම කොන්ත්‍රාත්තුව බාර ගත් අදාළ පුද්ගලික සමාගම විසින් ගිවිසුම් ගත කාලය තුළ ගිවිසුම පරිදි කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රු. මි. 4000ක් හෙවත් රුපියල් කෝටි 400කට අධික මුදලක් අහිමි කර ඇතැයි වාර්තාවේ.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලි සේවක පිරිස් විසින් මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පසුගියදා (24) සාකච්ඡාවක් පැවැති අතර එහිදී එම නිලධාරින් විසින් ප්‍රකාශ කළේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් මෙම ගිවිසුම නිසා රජයට සිදුවී ඇති පාඩුව මුලුමනින්ම මහජනතාවගේ ඇගේ ගසා ඇති බවයි.

දැනට විගණන වාර්තා විසින් පෙන්වා දී කාරණා අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා වු කාලයක් සදහා සැපයුම්කාර සමාගමට රු. මි. 7467.65ක් ගෙවා ඇති බවත්, ගිවිසුම අවසන් වූ පසු 2016. මාර්තු මස සිට 2017 දෙසැම්බර් 31 දින් දක්වා තවත් රු. මි. 1856.65ක් ගෙවා ඇති බවත් සඳහන් කර ඇත.

කෙසේ වුවද රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාලව දෙපාර්තමේන්තුව විසින් ගෙවා ඇති සමස්ත මුදල රු. මි. 5,610,749,042කි.

මෙම කාරණය සම්බන්ධව අමාත්‍ය මහින්ද අමරවීර මහතා දිගින් දිගටම අදාල වගකිව යුතු නිලධාරින් ගෙන් කරුණු විමසීමක් සිදු කළ අතර කිසියම් මුල්‍ය වංචාවක් සිදුවී ඇති බව මෙන්ම ප්‍රමාදයන් ද සිදුවී ඇති බව එම නිලධාරීහු පිලිගත්හ. ඔවුන් පවසන්නේ රටට අහිමි ව ඇති මුදල් රු. කෝටි 175ක් බවයි.

එහෙත් නව රියදුරු බලපත්‍රය හඳුන්වා දිමේ දී මේ රට තුළ කිසිදු ප්‍රයෝජනයක් නැති ඉලෙක්ට්‍රොනික චිපයක් එයට ඇතුළත් කර ඇති නමුත් එම චිපයෙන් ප්‍රයෝජනයක් ගත හැකි උපාංග කිසිවක් රථවාහන පොලිසියට හෝ හඳුන්වා දි නොමැත. එමෙන්ම රු. 300කට ගත හැති බලපත්‍රයකට මහජනතාවට රු. 1300ක් වැනි වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඉන් දෙපාර්තමේන්තුවට නොව අදාල සමාගමට වාසි සැලසී ඇති බවත් හෙළිවිය.

කෙසේ වුවද මෙම කාරණය මගින් විශාල මුදල් වංචාවක් සිදුවී ඇති නිසාත්, රජයට විශාල මුදලක් අහිමි කර ඇති නිසාත්, අදාල සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කර එම සමාගම ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම අත්හිටුවීම සඳහා එම සමාගම අසාදු ලේඛනගත කිරීමටත්, මෙම කාරණයට වගකිව යුතු නිලධාරින් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව පියවර ගැනීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම වංචාව පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා රටට පාඩු කළවුන් සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොදෙන බව ද කීය.

කුප්‍රකට මහබැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට මුළින්ම 2015 මාර්තු 09 දින පැමිණිලි කළේ තමන් බවත්, අද වනවිට බැඳුම්කර සිද්ධිය නිසා ඇතැම් පිරිස්වලට අත්ව ඇති ඉරණම ගැන කී අමාත්‍යවරයා මෙම සිද්ධිය ද තමන් මහජනතාවට හෙළි කිරීම සඳහාත් හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට සියලු පියවර ගන්නා බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *