උසස් තාක්ෂණ ආයතනවලට ගන්නා සිසුන්ගේ ප්‍රමාණය වැඩි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉදිරියේදී තිස් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යාපනය උසස් තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘ ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති උසස් තාක්ෂණ ආයතන 19 සඳහා දැනට බදවා ගනු ලබන්නේ සිසුන් දස දහසක් පමණයි එය ක්‍රමානුකූලව තිස් දහසක් දක්වා වැඩි කිරීමට රජය මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා වන ප්‍රතිපාදන වැඩි කරමින් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් පියවර ගන්නවා. විශේෂයෙන් මෙම ආයතන තුළ පාඨමාලාවන් තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිතව විධිමත් කිරීමටත් පියවර ගත යුතුයි. මෙම ආයතන තුළ ක්‍රියාත්මක වන පාඨමාලාවන් අතරින් තෝරාගත් කීපයක් සඳහා උපාධි තත්ත්වය පිරිනැමීමට අවශ්‍ය කටයුතු ද ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ සඳහා ඉදිරි අවුරුදු තුන ඉලක්ක කරගනිමින් උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකසා එය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.“

මෙම නිරීක්ෂණ චාරිකාවට අමතරව එදිනම වව්නියාව හා අනුරාධපුර උසස් තාක්ෂණ ආයතන වල ද නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරයා එක්වූ අතර අධ්‍යාපන කටයුතු වල ගුණාත්මක තත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම චාරිකාවේ අරමුණු විය.

මෙම නිරීක්ෂණ චාරිකාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =