හිටපු ඇමති රාජිතට ඇප

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට ඇප නියම කර තිබේ.

සේනාරත්න මහතා අද(30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද රැගෙන විත් තිබුණේ වෛද්‍ය වාර්තා පමණි. ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමු සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා රක්ෂිත බන්ධනාගාරයට නියම වූ මන්ත්‍රිවරයා මේ වන විටත් පසුවන්නේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ය.

රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ උත්සාහ කළද මන්ත්‍රිවරයාගේ වෛද්‍යවරයා ඊට ඉඩ ලබා දුන්නේ නැත.

ආන්දෝලනාත්මක සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිමට හැකිවූයේද ඔහුට වරෙන්තු නිකුත් කර දින දෙකකට පසුවය. ඒ ඔහු සිය නිවාසවල නොසිටීම හේතුවෙනි. ඔහු අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුර අදාළ පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබුණි.

එහිදී අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයා නිරීක්ෂණය කිරීමට එම රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය තීරණය කළේ ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

පසුගිය 28 වනදා ඔහුගේ තත්ත්වය පසුගියදා පරික්ෂා කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක නිර්දේශ කළේ ඔහු බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරු කළ හැකි බවය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් ඔහු බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට උත්සාහ කළේය.

මන්ත්‍රීවරයාගේ ආතතිය සහ රුධිර පීඩනය ඉහළ යාම හේතුවෙන් තවදුරටත් පෞද්ගලික රෝහලේම ප්‍රතිකාර ලබා දිය යුතු බවට එම රෝහලේ වෛද්‍යවරුන් තිරණය කර තිබුණි. ඔහු අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වෛද්‍ය නිර්දේශ මත අධිකරණයට රැගෙන ඒමට කටයුතු නොකළ බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + eighteen =