ඝන ආහාරවල සීනි,මේදය,ලවණ ප්‍රදර්ශනයට නව නීතියක්

(කොළඹ, ලංකාපුවත්) – වෙළඳපොලේ ඇති ඝන ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර තිබෙන බව පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

මෙය එළඹෙන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකළේ 2016 වසරේ සිට පානවර්ග සඳහා දැනටමත් ක්‍රියාත්මක කොළ, කහ සහ රතු වර්ණ යෙදීම මෙම නව නීතියේ දී ඝණ ආහාර ද්‍රව්‍ය සඳහා ද නිර්නායකය ලෙස යොදාගන්නා බවයි.

එමෙන්ම 2020දී සෑම ආපන ශාලාවක්ම සහ ආහාර නිෂ්පාදන ආයතනයක්ම අදාළ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඉදිරියේ ලියාපදිංචි කළ යුතු අතර එසේ ලියාපදිංචි කිරීමේදී නියමිත ප්‍රමිතිය සම්බන්ධයෙන් නිර්නායකයන් දී ඇති බවත්, ඒව නියමිත ආකාරයෙන් පවතින්නේද යන්න මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් මගින් විමර්ශනය කෙරෙන බවත්, නියමිත ප්‍රමිතිය පවතින ආපනශාලා සහ ආහාර නිෂ්පාදන ආයතන සඳහා පමණක් ලියාපදිංචිය ලබාදෙනු ඇති බවත් වෛද්‍ය ගම්ලත් මහතා පැවසීය.

මීට අමතරව සෑම ආහාර ඇසුරුමකම කල් ඉකුත් වීමේ දිනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර හෝ මකාදමා ඇති නිෂ්පාදන අලෙවි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ කටයුතු කරන බවත්, එවැනි තොරතුරු සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *