‘කුරහන් සාටකය නැති වුවද නියෝජනය කරන්නේ පීඩිත ජනතාවයි‘ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –තමන් කුරහන් පැහැ ඇති සාටකය පැළදුවේ නැති වුව ද නියෝජනය කරන්නේ පීඩිත ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

අද (03) පෙරවරුවේ රාජාසන කතාව කරමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මා හට ඔබතුමාට අමතන්න ලබන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී මේ රටේ බහුතර ජනතාව මා වෙනුවෙන් දැක්වූ විශ්වාසය නිසයි.

මෙහි අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයත් වුවත් අපි සැම දෙනාගේ වගකීම රටේ ජනතාවගේ සුභ සිද්ධියයි. මා වසර 20 ක් යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියා. මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නැහැ.

මා කුරහන් පැහැ ඇති සාටකය පැළදුවේ නැති උනත් මා නියෝජනය කරන්නේ ඒ පිඩිත ජනතාවයි. මා මේ මොහොතේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මහජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම ඔවුන්ගේ සෞභාග්‍ය උදෙසා මා සහ මාගේ රජය කැපවෙනවා.

ඒ වගේම රජුන් තනන භූමිකාවට ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජාතින් අතර භේද වපුරනවා වෙනුවට ජනතාව එකතු කරගෙන ඉදිරියට යන්න අපි සියලු දෙනා කැපවෙන්න ඕන.

මගේ පාලන සමයේදී රටේ ආරක්ෂාව වෙනුවෙන් හා බුද්ධාගම ආරක්ෂා කරන්න කැපවෙනවා. ඒ වගේම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් අදහන්න හැකි.

මා කුඩා කාලයේදී මාගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරන විට මෙහි ගැලරියට වී බලා සිට තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ පැවති හරවත් කතාවන් අද නැහැ. නැවත මේ පාර්ලිමේන්තුව මහජනතාවගේ ගැටළු ගැන කතා කරන තැනක් බවට පත් කරන්න අප කටයුතු කළ යුතුයි.

අපේ ප්‍රතිපත්ති වලට අනුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා. ඒ අනුව දක්ෂ නිලධාරීන්ට සුදුසු ස්ථාන ලබාදී තිබෙනවා. ඒ සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර මනා සම්බන්ධයක් ඇති කර තිබෙනවා. පාතාල ක්‍රියාකාරීන්, මත්ද්‍රව්‍ය උවදුර, ස්ත්‍රී දුෂකයින් ගෙන් තොර රටක් බවට මෙය පත් කර යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *