පාර්ලිමේන්තුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද රැස් වේ

(කොළඹ, ලංකාපුවත්) –අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන 10ට විවෘත කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව වාරාවසාන කිරීමේ සහ රැස්වීම කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් කියවනු ලබන අතර ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ රැස් වන පාර්ලිමේන්තුවේදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට හා කථානායකවරයා විසින් පා.ම. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. අනතුරුව ජනවාරි 07 වැනිදා සිට පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරෙන පක්ෂ නායක රැස්වීමක් පස්වරු 12.30ට කැඳවීමට නියමිත බවත් යළි පාර්ලිමේන්තුව පස්වරු 01.00 සිට පස්වරු 06.00 දක්වා රැස්වීමට නියමිත බවත් පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අද දිනයට පෙර දැනුම් දෙන ලෙසද කථානායකවරයා මීට පෙර ආණ්ඩු පක්ෂයට දැනුම් දී තිබිණි.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරු, අගවිනිසුරුතුමන්, උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු 600කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *