දරු පරපුරේ භාෂා හැකියාව නංවන්න විදෙස් භාෂා සරසවියක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකීය දරු පරපුරේ භාෂා හැකියාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව විදේශීය භාෂාව පිළිබඳ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි. මෙරට තරුණ තරුණියන්ගේ විදේශීය භාෂා හැකියාව ප්‍රගුණ කරමින් නව රැකියා වෙළෙඳපළට සරිලන භාෂා ප්‍රවීණයන් නිර්මාණය කිරීමේ අරමුණින් මේ විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙලෙස අදහස් දැක්වූයේ සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (6) එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ සිංහල ශබ්දකෝෂ කාර්යාලය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවත්, අනෙකුත් ප්‍රජාවන් එයින් ප්‍රයෝජන ගැනීම උදෙසා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් බවට පත්කිරීමට සැලසුම්කර තිබෙන බවත්ය. මෙම සිංහල ශබ්දකෝෂ කාර්යාලය රජයේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විද්‍යායතනයක් බවට පත්කර ගැනීම උදෙසා අදාළ අංශ සමඟ කඩිනමින් සාකච්ඡා කොට ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කරන බවද හෙතෙම සදහන් කළේය.

මෙහි තිබෙන සම්පත් හා හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් අද වනවිට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ පර්යේෂණයන් සිදුකරන බව පෙන්වාදුන් ඒ මහතා පසුගිය රජය සමයේ කිසිඳු අවධානයකට යොමු නොවූ මේ ආයතනය නව රජය යටතේ එය දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද, එය රටේ ජාතික අවශ්‍යතාවක් වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද හිමි, අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර, නියෝජ්‍ය කර්තෘ ලීලවංශ සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *