සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛභාෂික පාසලක් ලබාදීමට නව ආණ්ඩුව කටයුතු කරනවා

(කොළඹ, ලංකාපුවත්) – ශිෂ්ටසම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා නැණ මෙන්ම ගුණද වර්ධනය වන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු නමුත් අද මෙරට පාසල් පද්ධතිය තුළින් බිහි වන බොහෝ දරුවන් තුළ දකින්නට ලැබෙන්නේ නැණ පමණක් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නැණ නුවණින් කොපමණ ඉහළ සිටියත් ගුණ නොමැති දරුවන්ගෙන් සමාජයට අත්වන සෙතක් නොමැති බවත් මේ නිසා ගුණ නැණ දෙකින්ම පොහොසත් දරුවන් සමාජයට දායාද කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ඒ මහතා කීය.

මහනුවර කටුගස්තොට ශ්‍රී පලිපාන චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (06) අගමැතිවරයා මේ බව පැවසුවේය.

මෙරට අධ්‍යාපනය ඈත අතීතයේදී පන්සල හා බද්ධ වී තිබුණු බවත් අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයත් සමඟ ක්‍රමයෙන් මේ සියල්ල වෙනස්ව ගොස් පන්සලෙන් අධ්‍යාපනය ඈත්ව ගොස් පෞද්ගලික පාසල් ඔස්සේ වෙනම අධ්‍යාපන ක්‍රමයක් බිහි වූ බවත් රාජපක්ෂ මහතා කීය.

ආගම ඉගැන්වීමට පාසල්වල කාලය වෙන් කරනු ලබන්නේ සතියකට විනාඩි හතළිහ බැගින් කාල පරිච්ඡේද දෙකක් පමණක් බවත් දරුවකුට ගුණ යහපත්කම් කියාදෙන ආගම ඉගැන් වීමට මෙයට වඩා කාලයක් පාසල් තුළ වෙන් කළ යුතු බවත් කී ඒ මහතා පටු අදහස් ඇති පිරිස් සමාජයට බිහි වන්නේ මේ නිසා යැයිද අවධාරණය කළේය.

ළමුන් දහම ගැන නොසිතා අධ්‍යාපනයේදී ඉලක්ක කර ගන්නේ දැනුම පිළිබඳව පමණක් බවත් ඒ ඔස්සේ තරගයකට මෙන් අධ්‍යාපනය හඹා ගොස් රැකියාවක් ලබාගෙන මුදල් හරි හම්බ කිරීම ඔවුන්ගේ මූලික අරමුණ බවත් කී අගමැතිවරයා මුදල් ඉපැයීමේ අපේක්ෂාවෙන් දරුවන් මුදා ගැනීමට ඉවහල් වන විහාරස්ථාන කේන්ද්‍ර කරගත් පාසල් මේ ආකාරයට බිහි වීම සතුටට කරුණක් බවද අවධාරණය කළේය.

මෙමඟින් එදා විහාරස්ථාන ඇසුරු කර ගනිමින් ක්‍රියාත්මක වූ ගුණ නැණ දෙකෙහිම ළමුන් පිහිටුවන අධ්‍යාපනයට පසුබිම සැකසෙන බවද හෙතෙම අවධාරණය කළේය.

අස්ගිරි පාර්ශ්වයේ කීර්තිමත් ගුණවත් මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වූ පලිපාන ශ්‍රී චන්දානන්ද නාහිමි නමින් මෙම බාලිකා විදුහල ආරම්භ වීම ඉතා වැදගත් බවද ඒ මහතා කීය.

ලෝකය ජය ගන්න නම් අධ්‍යාපනය තුළින් දමනය වූ අයෙකු බිහි කළ යුතු බවත් විද්‍යාගාර, පිහිනුම් තටාක පමණක් නොව ගුණාත්මක වෙනසක් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා පැවසුවේය.

රට පුරා අලුතින් ජාතික පාසල් දහසක් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත් ඒ යටතේ මහනුවරට ජාතික පාසල් සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛභාෂික පාසලක් ලබාදීමට නව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය. භාෂා පිළිබඳ දැනුම ලබා ගැනීම ඉතා වැදගත් බවද මෙම වැඩපිළිවෙළ ඔස්සේ එම අවශ්‍යතාව සපිරෙන බවද ඒ මහතා කීය.

දෙමව්පියන් තමන්ගේ පාසල් යන දරුවා ගැන විශේෂ සොයා බැලීමක් කළ යුතු බවත් දෙමව්පියන් දරුවන් ගැන කුඩා කාලයේදී කරන සොයා බැලීම පසුකාලීනව අත් හරින බවත් කී අගමැතිවරයා කුඩා කාලයේදී දෙමව්පියන් දරුවාව පාසැලට ගෙන ඒම, පාසල අතර රැඳී සිටීම, පාසල හමාර වූ පසු නැවත නිවසට කැඳවා ගෙන යෑම වැනි සියලු දේ කළත් පසුව ඒවා අත් හරින බවද අවධාරණය කළේය.

ළමයා ක්‍රමයෙන් වැඩෙත්දී දෙමව්පියන් දරුවාට අවශ්‍ය ලෙස නිදහසේ හැසිරීමට ඉඩදී ඉවත් වන බවත් අද පවතින තත්ත්වය අනුව දෙමව්පියන් දරුවා කුඩා කාලයේදීටත් වඩා ඉහළ පන්තිවලට යනවිට සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

දරුවා ඉහළ පන්තිවලට යන විට අප අත්හැරියොත් ඒ දරුවා අපෙන් ගිලිහී යාමේ අවදානමක් තිබෙන බවත් එම අවදානමට ඉඩක් නොතැබීම දෙමව්පියන්ගේ වගකීම බවත් අගමැතිවරයා පැවසුවේය.

රුවැන්වැලි සෑ පුදබිම තෝරා ගනිමින් ජනපතිවරයාගේත් නව ආණ්ඩුවේත් ප්‍රතිපත්තිය බොහොම පැහැදිලිව රටට ඉදිරිපත් කර තිබෙන බවත් පසුගියදා ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතමින්ද අදහස් දැක්වීමක් කළ බවත් කී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ දැනට ආණ්ඩු පක්ෂයට හිමිව තිබෙන්නේ අඩු ආසන සංඛ්‍යාවක් බවද පැවසුවේය.

රජයක් ලෙස වැඩකටයුතු කරමින් සිටින්නේ එවැනි පසුබිමක බවත් ඊළඟ අවස්ථාවේදී රජයක් ලෙස ඉතා ශීඝ්‍රයෙන් වැඩ කටයුතු සිදු කිරීමට සූදානම් බවත් හෙතෙම කීය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමි අදහස් දක්වමින් අද පාසල් උසස්ද පහත්ද කියා වර්ග කෙරෙන ප්‍රධාන මිණුම් දඬු වන්නේ පාසලට ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකයක් තිබෙනවාද යන කරුණු බවත් චන්දානන්ද විද්‍යාලයට පිට්ටනි හෝ ජල තටාක නොතිබුණද මෙහි අන්තර්ගතය අභිමානවත් බවත් පැවසූහ.

දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙලා හොඳ පෝසතෙක් වුණත් අම්මා තාත්තා සිටින්නේ අඳුරේ බවත් මේ නිසා මෙම පාසැලේ අරමුණ ගුණවත් නැණවත් මෙන්ම බෝසත් දරුවන් සමාජයට දායාද කිරීම බවත් උන්වහන්සේ කීහ.

අද සමාජයේ හොඳින් අධ්‍යාපනය ලැබ උසස් රැකියා කරන පෝසත් දරුවන් ඕනෑ තරම් සිටින බවත් රටට හිඟ බෝසත් දරුවන් බවත් කී අනුනාහිමියෝ ධර්මයෙන් තොරව අධ්‍යාපනයට යොමු වීමෙන් බිහි වන්නේ වල් සතුන් බවද අවධාරණය කළහ.

අද දරුවන් සතුව දැනුම තිබුණත් ආකල්ප නොමැති බවත් සිරිත් තිබුණාට අචාර ධර්ම නොමැති බවත් ආගම තිබුණාට දහම නොමැති බවත් උපාලි නාහිමියෝ පැවසූහ.

රටේ ගුණාත්මක උගතුන්ගේ බරපතළ හිඟයක් තිබෙන බවත් තානාපති සේවයට යන බොහෝ අය කරන්නේ දරුවන්ට ඒ රටවල අධ්‍යාපනය ලබා දීම හෝ තමන්ගේ ආතතිය අඩු කර ගැනීම පිණිස විවේකීව සිටීම බවත් උන්වහන්සේ කීහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් අදහස් දක්වමින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ගාමක බලවේගය සිංහල මහජනතාව බවත් එම ජනප්‍රජාව තුළ ප්‍රමුඛතාව බෞද්ධ ජනතාවට හිමි වෙත්දී කිතුණු ජන කොටස්ද ඒහා සමඟ බැඳී සිටින බවත් ප්‍රකාශ කළහ.

හින්දු හා ඉස්ලාම් ජන කොටස් මෙම මූලික ස්වභාවයන් නිවැරදි ලෙස හඳුනාගෙන කටයුතු කිරීම වැදගත් බවද උන්වහන්සේ කීහ.

ශ්‍රී පලිපාන චන්දානන්ද බාලක හා බාලිකා විද්‍යාලයන්හි කළමනාකාර අධ්‍යක්ෂ, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහෝපාධ්‍යාය ගොඩගම මංගල නාහිමි අදහස් දක්වමින් පසුගිය කාලයේදී සංහිඳියා සංකල්පය මුල් කර ගනිමින් සිංහල භාෂාවට, බෞද්ධාගමට හා ඉතිහාස විෂයට අවර ගනයේ සැලකුම් ලැබුණු බවත් ඒ ගැන සොයා බැලීම පිණිස කමිටුවක් පත්කරන ලෙස තමන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ කීහ.

විෂය නිර්දේශ පිළිබඳ විධිමත් සමාලෝචනයක් කිරීමේ අවශ්‍යතාව තිබෙන බවද මංගල නාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්නානන්ද නාහිමි ඇතුළු මහ සංඝරත්නයද මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *