සතියකට ප්ලාස්ටික් කිලෝ 36,000ක් වෙරළ තීරයට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්ථාන 98කදී පමණක් සතියකට පොලිතින් සහ ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36,459ක් ඉක්මවා එක් වන බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ 2019 වසරේ සැප්තැම්බර් මස 03 වැනි සතිය තුළ දිවයින වටා කිලෝමීටර් 1,640ක් පමණ වූ වෙරළ තීරයේ අහඹු ලෙස තෝරා ගත් ස්ථාන 98ක් (එක් ස්ථානයක් කිලෝමීටරයක දිගින් යුක්ත වේ) පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණයෙ වූ බවයි. එම ස්ථානවල සතියක කාලයක් තුළ එකතු වන පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙම තොරතුරු රැස් කර තිබේ.

සමස්ත දිවයින වටා වෙරළ තීරයට එක් සතියක් තුළ නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 608,865ක් පමණ එකතු වන අතර එය වසරක කාලයක් සඳහා අවම වශයෙන් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්කෝටි දහසයලක්ෂ නවසිය හැටදහස් අනූපහකි (31,660,995 – 608,865 x සති 52). සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කළ මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 9,067 දෙනකු සහභාගි වී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එක් වරක් පමණක් භාවිත කරන නොදිරන අපද්‍රව්‍ය (බීම බට, කිරිපැකට්, යෝගට් කප් ආදිය) වෙරළ තීරයේ සිරි නැරඹීමට පැමිණෙන ජනතාව බහුලව එක්කර ඇති බවයි. එම අධ්‍යයනය කරන ලද සතිය තුළ පමණක් පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කැබලි 392,697ක් මෙම ස්ථාන 98 තුළින් සොයාගත් බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය. සොයාගත් අපද්‍රව්‍ය අතර බීම බෝතල්, බීම බට, යෝගට් කප්, පොලිතින් බෑග්, බීම මූඩි, සපත්තු – සෙරෙප්පු කෑලි බහුල ලෙස හමු වී ඇත.

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතාගෙන් ඊයේ (7) ‘රැස’ කළ විමසීමකදී ඔහු කියා සිටියේ නාවික හමුදාව සිදු කරන වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිවලදී සහ දෛනික වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී පොලිතින් සහ ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය විශාල වශයෙන් වෙරළට එක් වන බව අනාවරණය වී ඇති බවය. ඔහු තවදුරටත් මෙසේද පැවසීය.

“විශේෂයෙන් සාගරයට පොලිතින්, ප්ලාස්ටික් එක්වන අවස්ථා කිහිපයක් තිබෙනවා. ඒ අතර මහජනතාව එක් කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රමුඛ වෙනවා. ඒ වගේම ධීවරයන්ද ප්ලාස්ටික් බෝතල් සාගරයට එක් කරනවා. අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් ධීවරයන් දැනුවත් කරමින් විශාල ජල බෝතල් හඳුන්වා දුන්නත් ඒවා තවමත් භාවිත වන්නේ නැහැ. මිනිසුන් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කරන මේ ක්‍රියාවලින් සාගරය දූෂිත වෙන එක තමයි වෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + ten =