සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකේය ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය ඉදිරිපත් කරන ”සේව් ද ස්පෝර්ස්ට් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 2020” සඳහා ඉල්ලුම් පත් කැඳවීම ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යය අරමුණු කර ගනිමින් ඒසඳහාම පැවැත්වෙන පළමු සහ එකම සම්මාන උළෙල මෙයයි.

ඒබව අවධාරණය කරමින් සේව් ද ස්පෝර්ස් සංවිධානයේ සභාපති ම. ප. තමීර මංජු මහතා පැවසුවේ ක්‍රීඩාවේ අනාගතය පැහැබරයි යන තේමාව යටතේ මෙම සාහිත්‍ය සම්මාන උළෙල සංවිධානය කර ඇති බවය.

”සේව් ද ස්පෝට්ස් සංවිධානය අපේ රටේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පෙනී සිටින ස්වේච්ඡා සංවිධානයක්. දැනටමත් අපි වාර්ෂිකව ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර වැඩසටහන් රැසක් දියත් කරනවා. ඒ අතරට එක්වන අලුත්ම වැඩසටහන වන්නේ සේව් ද ස්පෝර්ස් ක්‍රීඩා සම්මාන උළෙල. ලෝකයේම ක්‍රීඩා සාහිත්‍යය කියන්නේ වෙනමම ක්ෂේත්‍රයක්. අපේ රටේ දක්නට නොලැබුණාට ලෝකයේ සෙසු රටවල ක්‍රීඩා සාහිත්‍යය ඉහළම මට්ටමක තියෙනවා. අපේ අරමුණ වන්නෙත් අපේ රටේ ක්‍රීඩා සාහිත්‍ය එවැනි උසස් තලයකට ගෙන එන්නට. අද අපේ රටේ ක්‍රීඩා කෘති වාර්ෂිකව ප්‍රකාශයට පත් වෙන්නේ කීයද ? ක්‍රීඩා සඟරා තියෙන්නේ කීයද ? ක්‍රීඩා සිනමාව කොතැනටද දිවෙන්නේ ? මේ වගේ ප්‍රශ්න රාශියක් අපට තියෙනවා. ඒ ප්‍රශ්නවලට නියමාකාර විසදුම සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සම්මාන උළෙල නොවෙන්න පුළුවන්. නමුත් යම් උත්තරයක් එහි තිබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා…”යිද ම. ප. තමීර මංජු මහතා පැවසීය.

සේව් ද ස‍්පෝර්ට්ස් ක්‍රීඩා සම්මාන උළෙලේදී කාණ්ඩ හයක් යටතේ පිරිනැමෙන සම්මාන ගණන 20කි. එහිදී පළමු කාණ්ඩය යටතේ පිරිනැමෙන්නේ ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩා සාහිත්‍යයේ උන්නතිය උදෙසා ඉහළ දායකත්වයක් දැක්වූ වසරේ ජාතික ක‍්‍රීඩා සංගමය, වසරේ වෙළඳ සමාගම, වසරේ ක්‍රීඩා දේශක සහ වසරේ ආයතන හෝ සංවිධාන වෙනුවෙන් පිදෙන බුද්ධි මණ්ඩලයේ විශේෂ ඇගයීම් සම්මාන වේ.

දෙවැනි කාණ්ඩයේදී වසරේ විශිෂ්ටතම ක‍්‍රීඩා විචාර ලිපිය, ක‍්‍රීඩා පුවත් පිටුව, ක‍්‍රීඩා සඟරාව, ක‍්‍රීඩා ප‍්‍රකාශන ආයතනය සහ වසරේ ක‍්‍රීඩා වෙබ් අඩවිය සඳහා සම්මාන පිරිනමයි. තුන්වැනි කාණ්ඩයෙන් වසරේ විශිෂ්ටතම සමාජ ජාලා, රූපවාහිනී වාර්තා, ගුවන්විදුලි වාර්තා, සිනමා ක්‍රීඩා සාහිත්‍ය නිර්මාණ සඳහාත් සිව්වැනි කාණ්ඩයෙන් වසරේ විශිෂ්ටතම ඉංග‍්‍රීසි භාෂා, දෙමළ භාෂා සිංහල භාෂා ක‍්‍රීඩා සාහිත්‍යවේදියාටත් සම්මාන පිරි නැමේ. වසරේ විශිෂ්ටතම විවිධ විෂයික ක‍්‍රීඩා කෘතියට සහ වසරේ විශිෂ්ටතම ශාස්ත‍්‍රීය ක‍්‍රීඩා කෘතියට සම්මාන පිරිනැමෙන්නේ පස්වැනි කාණ්ඩයෙනි. සය වැනි කාණ්ඩයෙන් පිරිනැමෙන සේව්ද ස්පෝර්ට්ස් ක‍්‍රීඩා සාහිත්‍ය රන් සම්මානය ක්‍රීඩා සාහිත්‍යය උදෙසා අපමණ මෙහයක් කළ සාහිත්‍යධුරයකු වෙනුවෙන් පිරිනැමේ.

ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ සියලු ඇගයීම් සිදු කරන්නේ බුද්ධි මණ්ඩලයක් විසිනි. එහි සභාපතිත්ත්වය දරන්නේ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනමේ සභාපති, බාහිර කථිකාචාර්ය, ශාස්ත්‍රපති ( පංචවිධ) හර්ෂ බී. අබේකෝන් මහතායි. ඔහු පැවසුවේ ”ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීම උදෙසා ක්‍රීඩා සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංගයක්. එබැවින් ලාංකීය ක්‍රීඩාවේ සංවර්ධන උදෙසා පාසල් ක්‍රීඩාවේ සිට ජාතික සහ ජාත්‍යන්තර මට්ටම දක්වා ක්‍රීඩකයින් ගෙන යාම සඳහා රට තුළ ක්‍රීඩා සාහිත්‍යයද පෝෂණය කළ යුතුයි. සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානය එම ජාතික වගකීම ඉටු කිරීමට පුරෝගාමී වී තිබෙනවා. ඊට මෙරටේ සමස්ත ක්‍රීඩකයින් ක්‍රීඩා පුහුණුකරුවන් ක්‍රීඩා උපදේශකවරුන් ක්‍රීඩා කළමනාකරුවන් ක්‍රීඩා පරිපාලකයින් ඇතුළුව සමස්ත ක්‍රීඩා ව්‍යුහයේම දායකත්වය ලබා දිය යුතු වනවා…” යනුවෙනි. බුද්ධි මණ්ඩලයේ පළමුවැනි රැස්වීම ජනවාරි 15 වැනිදා පැවැත්වෙන බවද ඔහු පැවසිය.

සේව් ද ස්පෝර්ස් ක්‍රීඩා සම්මාන උළෙළට ඉල්ලුම්පත් භාර ගැනීම 2020 පෙබරවාරි 15 වැනිදායින් අවසන් වෙයි. සියලුම ඉල්ලුම් පත් කඩවත නුවර පාර අංක – 451 /4Cහි පිහිටි කඩුල් ප්‍රකාශන ආයතනයට භාර දිය යුතුය. (කඩවත නිකාඩෝ සිනමා ශාලාව ඉදිරිපිට ගොඩනැගිල්ලේ දෙවැනි මහළෙහි කඩුල්ල ප්‍රකාශන ආයතනය පිහිටා ඇත. විමසීම් 0113 64 24 28 ) සම්මාන උළෙලේ ඇගයීම් පිළිබඳ යම් තොරතුරක් විමසීට අවශ්‍ය නම් එය බුද්ධි මණ්ඩලයේ ප්‍රධානි ශාස්ත්‍රපති හර්ෂ බී. අබේකෝන් මහතා 0766390897 යන දුරකථන අංකයෙන්ද සංවිධාන කටයුතු පිළිබඳ තොරතුරු දැන ගැනීමට 0773557667 දුරකථන අංකයෙන් සේව් ද ස්පෝර්ට්ස් සංවිධානයේ සභාපති ම. ප. තමීර මංජු මහතාද අමතන ලෙසට සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටි. සම්මාන උළෙලේ අවසාන තීරණය බුද්ධිය මණ්ඩලය සතු වෙයි.

වැඩිවිස්තර සඳහා සම්මාන උළෙලේ නිල සමාජ ජාල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන www.sabuddhi.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *