‘සංවර්ධන කාර්ය සහායක සේවය’ සදහා කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා අවස්ථා සැලසීම සඳහා ස්ථාපිත කෙරෙන බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකාය යටතේ ‘සංවර්ධන කාර්ය සහායක සේවය’ යනුවෙන් සේවාවක් ඇති කිරීමටත්, එම සේවාව සඳහා රජයේ පාසලක අටවන (08) ශ්‍රේණිය සමත් වූවන් ලක්ෂයක් බඳවා ගැනීමටත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙරට දිළිඳුකම පිටුදැකීමේ අරමුණ ඇතිව අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා අවස්ථා සැලසීම සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකායක් රජයේ දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථිපිත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට මීට පෙර කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

මෙම දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කෙරෙන ‘සංවර්ධන කාර්ය සහායක සේවය’ සඳහා දිළිඳු පවුල්වලට අයත් ලක්ෂයක් දෙනා බඳවා ගැනීම සිදුකෙරෙන ආකාරය, ඔවුන් තෝරා ගැනීමේ නිර්ණායක ආදිය සම්බන්ධයෙන් ඇමැති චමල් රාජපක්ෂ මහතා පෙරේදා (8) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවේ ඉතා පැහැදිලිව කරුණු සඳහන් කර තිබූ බවද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සංවර්ධන කාර්ය සහායක සේවය සඳහා බඳවා ගැනෙන්නේ සමෘද්ධිලාභීන් හෝ ඊටත් වඩා අඩු ආදායම් ලබන පවුල්වල, වැඩ කළ හැකි වයසේ පසුවන, ශ්‍රමය සැපයීමට කැමත්තෙන් සිටින, 8 ශ්‍රේණිය සමත් අය බව එහි සඳහන් බවද, ඇමැතිවරයා කියයි.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා,

‘අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ සෑම පුරවැසියකු ම ප්‍රාථමික අධ්‍යාපනය නිසි ලෙස සම්පූර්ණ කරනවා. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන නතරවීම තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ. ඒ නිසා දිළිඳු පවුල්වල වැඩකළ හැකි වයසේ පසුවන, ශ්‍රමය සැපයීමට කැමත්තෙන් සිටින 8 ශ්‍රේණිය සමත් අයගෙන් ලක්ෂයක් තෝරා ගෙන ඔවුන් සංවර්ධන කාර්ය සහායකයන් ලෙස අදාළ පළාත්වල විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සහ පොදුජන සේවාවන් සඳහා යෙදවීම තමයි මෙහිදී අරමුණු කෙරෙන්නේ. ඒ සඳහා හය මාසික පුහුණුවක් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. දිළිඳු පවුලකට සමෘද්ධිය වශයෙන් සාමාන්‍යයෙන් ලැබෙන්නේ මාසයකට රුපියල් දෙදහසක් තුන්දහසක් හෝ හාරදහසක් වෙන්න පුළුවන්. නමුත් සංවර්ධන කාර්ය සහායක සේවයට බඳවා ගන්නා සෑම තැනැත්තකුට ම මසකට අවම වශයෙන් රුපියල් 30,000ක පමණ වේතනයක් ලැබෙන අකාරයටයි මෙම ව්‍යාපෘතිය සැලසුම් කොට තිබෙන්නේ. දිළිඳුකම පිටුදැකීම සඳහා රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා සැපයීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය මේ වසරේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා දිළිඳු පවුල්වලින් සුදුස්සන් තෝරා ගැනීම ඉදිරි කාලයේ සිදුකිරීමට කටයුතු කෙරෙනවා’ යැයි ද පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + fifteen =