විදුලිය නිෂ්පාදනයේ දී ජලය, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – දැනට ජලාශවල තිබෙන ජලය, විදුලිය නිෂ්පාදනයේ දී අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙයි.

දැනට රටේ ජලාශවල සැළකිය යුතු ජල ප්‍රමාණයක් තිබුනත්, මාර්තු මාසය වනවිට ඇති විය හැකි වියලි කාලගුණයත් සමග එම ජල මට්ටම සීග්‍රයෙන් අඩුවිය හැකි නිසා මේවනවිට උපරිම ධාරිතාවයෙන් ජලවිදුලිය නිපදවීම කෙරෙන නිසා ජලාශවල ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්හට උපදෙස් දුන්නේය.

අද(09) පෙරවරුවේ විදුලි බල අමාත්‍යාංශයේ දීමේ වනවිට විදුලිබලය උත්පාදනයේ ප්‍රගතිය පිලිබඳව සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහිදී අනාවරණය වුයේ 2014න් පසුව ගත වූ කාලය තුළ කිසිදු විදුලි බලාගාරයක් ඉදි නොකිරීම හේතුවෙන් මෙම වසර මැද විදුලි අර්බුදයකට මුහුණ පාන්නට සිදුවිය හැකි ඇති බවයි.

විශේෂයෙන් ලංකා විදුලි මණ්ඩලය පසුගිය වසරේ රු. කෝටි 8500ක පාඩුවක් ලැබීම, ලංකා ඛනිජතෙල් සංස්ථාවට රුපියල් කෝටි 8300ක් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පියවා නොතිබීම මෙන්ම පුද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගත්තත්, එම ආයතනවලට රු. කෝටි 4300ක් පමණ මුදලක් හිග මුදල් වශයෙන් පියවීමට තිබීම වැනි හේතු නිසා දැඩි මුල්‍ය අර්බුදයකට එම මණ්ඩලය මුහුණ පා සිටී.

එමනිසා මේ වනවිට ජල විදුලිය උපරිම ධාරිතාවෙන් නිපදවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරන බැවින් අර පිරිමැස්මෙන් යුතුව ජලය භාවිතා නොකළහොත් , මාර්තු මාසය අවසන් වනවිට විදුලි කප්පාදුවක් පවා පැන නැගීමේ හැකියාවක් පවතී.

විදුලි බල උත්පාදනය සඳහා කෙටිකාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ලංකා විදුලි බල මණ්ඩලය. මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල පවතින දුරස්ථභාවය නිසා ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීමේ දි විවිධ ගැටලු මතුවී තිබේ. 2013 සිට ම පවතින එම ගැටළු ද විදුලිබල ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලි බල උත්පාදනයට අදාල සියලු ආයතන එකට එක්ව මහජනතාවට මෙන්ම ආර්ථිකයට සඳහා බලපෑ හැකි විදුලි අර්බුදයක් මතුවීම වළක්වා ගැනිමට සුදුසු පියවර වහාම ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

විශේෂයෙන්ම විකල්ප බලශක්ති උත්පාදනයට හැකි තරම් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා මෙම වසරේ දී ද හදිසි මිල දී ගැනිම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවනු ඇති බවත්,ඒ සඳහා අඩු තරමින් තවත් රු.මි. 6500ක් පමණ වැය කිරීමට සිදුවනු ඇති බවත් කීය. එහෙත් ලබන වසර වනවිට නව විදුලි බල ව්‍යාපෘති වශයෙන් සුළං බල, සූර්යබල හා ක්ලීන් කෝල් ( පිරිසිදු කරන ලද ගල්අඅගුරු) බලාගාර ස්ථාපනය කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.

ජලවිදුලිය, සුලං බල හා සුර්ය බල විදුලි ඒකකයක් සඳහා ස්ථිර මිලක් කඩිනමින් තීරණය කරන්නැයි ද, දැනට විවිධ මිල ගණන් යටතේ එම විදුලිය මිල දී ගැනීම සිදුවන නිසා එමගින් රජයට මෙන්ම විදුලි බල මණ්ඩලයට ද විශාල පාඩුවක් සිදුවන බව මෙම අවස්ථාවට එක්වෙමින් විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය හා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *