අසර්බයිජාන්හි දී මියගිය සිසුවියන්ගේ දේහ කඩිනමින් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – අසර්බයිජාන්හි දී මියගිය ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ දේහයන් කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

එම සිසුවියන්ගේ දේහ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අසර්බයිජාන් රජය සමඟ මේ වනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

අසර්බයිජාන්හි ලංකාවේ තානාපති කාර්යාලයක් නොමැතිවීම හේතුවෙන් ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අසර්බයිජාන් රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව පෙන්වාදෙන ලේකම්වරයා එම රජය මේ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.

අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි. එහි දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවය හේතුවෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගත කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන නමුත් එහිදී ඔවුන් මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිව සිටි ශිෂ්‍යාවන් තිදෙනෙක් වන අතර මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවූවන් බවට මේ වනවිට අනාවරණය කැර ගෙන තිබේ. කෙසේ වුවද ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බවද මියගිය මෙම ශිෂ්‍යාවන්ගේ මෘත දේහයන් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත අදාළ විශ්වවිද්‍යාලය මඟින් දැනුම්දී ඇති අතර මෙම තරුණියන් තිදෙනා නවාතැන් ගෙන සිටි, අසර්බයිජානයේ බකූ අගනුවර බේයිල් නාගරික සීමාවේ දෙමහල් නිවෙසක බිම් මහලක මෙම ගින්න හටගෙන ඇත. ගින්නෙන් හටගත් විෂ දුම ආඝ්‍රාණය වීම නිසා සිසුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගින්නට හේතුව එම නිවෙසේ විදුලි පරිපථයේ දෝෂයක් බවට හඳුනාගෙන ඇති අතර අර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හැදැරීම සඳහා මෙම ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනා පසුගිය වසරේ අගෝස්තු 20 වැනිදා එම විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.

එම විශ්වවිද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති බව හා වෙනත් නවාතැනක් කුලී පදනම මත ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාලයෙන් සේවා සැපයීමක් ද සිදුනොකළ බවට එම සිසුන්ට පාලනාධිකාරිය දැනුම් දී තිබේ. ඒ හේතුවෙන් ඔවුන් මෙම ස්ථානයේ නවාතැන් ගෙන සිට ඇත.

කෙසේ වුවද මේ සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය විසින් දැනටමත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 1 =