නොවැම්බර්-දෙසැම්බර් මාසවල මහපොළ ගෙවන්න භාණ්ඩාගාරයට අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –නොවැම්බර් සහ දෙසැම්බර් මසවල මහපොළ ශිෂ්‍යාධාර මේ සතිය තුළ ගෙවීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇති බව තොරතුරු සහ සන්නිවේදන, උසස් අධ්‍යාපන සහ තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ මොහොතේ මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීමට අපහසු බවත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ඉදිරි මැතිවරණයෙන් පසු ඉදිරිපත් කරන නව අය වැයෙන් මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ගුණවර්ධන මහතා පැවසීය. මෙම වසරේ ජනවාරි මස සිට සෑම මසකම 15 වැනි දින වන විට එම ශිෂ්‍යධාර මුදල් සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බවට උසස් අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණය කැර සිටියේය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉදිරි වසර පහ ඇතුළත මහපොළ අරමුදල දෙගුණ කැර ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමාට ලැබෙන වැටුපෙන් සියයට 10ක මුදලක් මෙම අරමුදලට පරිත්‍යග කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කැර ගනිමින් පසුගිය දා උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර බැටන් ප්‍රහාර නොමැතිව ජනපති කාර්යාලය අභියසට පැමිණිමටත්, සිය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටත් ප්‍රථමවරට අවස්ථාව ලබා දුන් බවත් ඇමැතිවරයා පැවසීය.

පසුගිය ආණ්ඩුව මහපොළ ශිෂ්‍ය අරමුදල වැඩි කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැත. මහපොළ අරමුදලේ රුපියල් බිලියන 10.05ක් තිබෙන අතර ඉන් රුපියල් බිලියන දෙකක පමණ වංචාවක් සිදු වී ඇති බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් අැමැතිවරයා වැඩිදුරටත් සඳහන් කැර සිටියේය.

එහෙත් ඉදිරි වසර 5 තුළ මහපොළ ශිෂ්‍ය අරමුදල දෙගුණ කැර ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ. ඒ අනුව අදියර කිහිපයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ. එහි පළමු අදියර යටතේ ගම් නියම් ගම්වල මහපොළ ලොතරැයිය අලෙවි කර අරමුදල් සොයා ගැනීමට බලාපොරොත්තු වේ. දිස්ත්‍රික්ක 25 තුළ මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත් වීමටද එමඟින් මහපොළ අරමුදල තර කර ගැනීමටද සැළසුම් කර ඇති අතර මහපොළ ශිෂ්‍යාධාර ලබා ගනිමින් උසස් තනතුරු සහ වැටුප් ලබන දෙස් විදෙස් විශ්වවිද්‍යාල සිසුන්ගෙන්ද මෙම අරමුදල සඳහා online ක්‍රමයට අධාර ලබා ගැනීමට බලාපොරොත්තු වේ. දැනට විශ්වවිද්‍යාල වල සති අන්තයේ පවත්වන පෞද්ගලික පාඨමාලාවලින් ලැබෙන අදායමෙන් කොටසක්ද මෙම අරමුදල සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

තවද රටේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ස්වකැමැත්තෙන් මේ සඳහා දායක විය හැකි බවද බන්දුල ගුණවර්ධන මහතා අැමැතිවරයා සඳහන් කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *