ඉන්දියානු ප්‍රදාන යටතේ උතුරු පළාතේ පාසල් සඳහා ඉදිකළ නව ගොඩනැගිලි සිසු අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියානු ආධාර යටතේ උතුරු පළාතේ පාසල් පහක ඉදිකළ නව පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ විශේෂ උත්සවය ඊයේ(15) යාපනය, ඉලවාලයි ශාන්ත හෙන්රි විද්‍යාලයේදී පැවැත්විණ.

තෛපොංගල් දිනයට සමගාමීව පැවති මෙම උත්සවයේදී උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනොද් කේ. ජේකබ් මහතා විසින් නව ගොඩනැගිලි විවෘත කරන ලදී.

යා/ඉලවාලයි ශාන්ත හෙන්රි විද්‍යාලය, යාපනය/කතීජා මුස්ලිම් මහලිර් විද්‍යාලය, යා/වලලායි AMTMS, යා/වරුතලයිවිලන් AMTMS යන විද්‍යාලයන්හි එක් පාසල් ගොඩනැගිල්ල බැගින් හා වවුනියාවේ මු/විසුවනතර් ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ගොඩනැගිලි 2ක් මෙහිදී සිසු අයිතියට පත් කෙරිණ. ‍රජයේ නිලධාරීන්, පළාතේ නායකයන්, පාසල් සිසු සිසුවියන් සහ ගුරුවර ගුරුවරියන් සහ ප්‍රදේශවාසීන් රැසක් මෙම උත්සවයන්ට සහභාගී විය.

මෙම ගොඩනැගිලි ශ්‍රී ලංකා රුපියල් මිලියන 250ක වියදමකින් උතුරු පළාතේ පාසල් 27ක නව පන්ති කාමර ගොඩනැගිලි ඉදි කෙරෙන ව්‍යාපෘතියේ කොටසක් වේ. අද දින විවෘත කරන ලද ගොඩනැගිලි පහද ඇතුළත්ව පාසල් ගොඩනැගිලි 20ක් සම්පූර්ණ කර සිසු අයිතියට පත් කර තිබේ. ඉතිරි පාසල් ගොඩනැගිලි 7 කඩිනමින් ඉදිකර අවසන් කිරීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමග එක්ව අඛණ්ඩව පවත්වාගෙන යන ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාවයේ කොටසක් වේ. ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක පමණ සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 560ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන වේ.

ඉන්දියාව විසින් ඉදිකිරීමට නියමිත නිවාස 63,000න් නිවාස 47,500ක් දැනටමත් ඉදිකර අවසන්ය. පුනරුත්ථාපනය සහ නැවත පදිංචි කිරීම සඳහාද විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කෙරෙන අතර ඉන්දියානු රජය නිවාස 46,000ක් ප්‍රදේශය තුළ ඉදි කර තිබේ. 1900 හදිසි ගිලන් රථ සේවය උතුරු පළාතද ඇතුළුව දිවයින පුරා ක්‍රියාත්මකය. යාපනය විශ්ව විද්‍යාලයේ, කිලිනොච්චි විද්‍යායතනයේ කෘෂිකර්ම සහ ඉන්ජිනේරු පීඨය සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් වටිනා උපකරණ සහ කුසලතා කට්ටලද ඉන්දියාව විසින් ලබා දී ඇත.

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය, වැසි වතුර එක්රැස් කිරීමේ ඒකක 3,000ක් ඉදිකිරීම, නිවාස 600කින් සමන්විත ආදර්ශ ගම්මාන 25ක් ඉදිකිරීම සහ යාපනයේ ව්‍යාපාර සහ තොරතුරු සහ සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමද ඉන්දියානු රජයේ ප්‍රදාන යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතීන්ට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *