ජනපති-අගමැති චීන-ඉන්දියා සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් චීනය සහ ඉන්දියාව අතර තිබෙන සබඳතා පුළුල්කර ගැනීමේ අරමුණ ඇතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් චීනයේ සහ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව චීන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ දී චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙන අතර සංචාරයක් සඳහා තම රටට පැමිණෙන ලෙස පසුගිය දා මෙරටට පැමිණි චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මහතා ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ආරාධනා කළේය. එම ආරාධනය පිළිගත් ජනාධිපතිවරයා ලබන මාසයේ චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන අතර තාක්‍ෂණය, සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ඇතුළු එරට රජයේ උසස් නිළධාරීන් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසයේ 16 දා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව ඒ මහතා චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙයි.

තවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරන දෙවැනි විදෙස් නිල සංචාරය මෙය වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත විය.

මේ අතර ඉන්දීය රජයේ ආරාධනයකට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන පෙබරවාරි මස 7 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙන අතර එම සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළුව ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මේ සංචාරයේ දී උත්තර ප්‍රදේශයේ වරනාසි සංචාරය කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අන්ද්‍රා ප්‍රදේශ් හි තිරුපති වෙත ද යාමට නියමිතයි. පසුගිය නොවැම්බර් මාසයේ 18 දා මෙරට අගමැතිවරයා වීමෙන් අනතුරුව ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර එම මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉන්දියාවේ සංචාරය කරන තෙවැනි ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයා වෙයි. මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ සබදතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරු ඉන්දියාවේ සංචාරය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + fifteen =