උපාධිධාරීන් සියලු දෙනාට රැකියා දෙන්න ජනපතිගෙන් වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බවත් එහිදී උපාධිධාරීන් හදාරා ඇති විෂයන්ට අනුව අදාළ ක්ෂේත්‍රවල කඩිනම් පත්වීම් ලබාදීම සහ දෙස් විදෙස් පුහුණුව ලබා දෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

දිවයින පුරා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමඟ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් සහ රාජ්‍ය සේවකයකු බිහි කිරීමේ අරමුණින් මේ වන විට රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස් කර ඇති බවත් එම පුරප්පාඩු මත උපාධිධාරින් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා රැකියා ලාභීන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදීමට නියමිත බවද සඳහන් කළේය.

රටේ ඉදිරි ගමනට ඇති විශාලතම ශක්තිය මානව සම්පත බැවින් මෙරට බුද්ධිමත් තාරුණ්‍යය නිසි ලෙස කළමනාකරණය කරමින් ආර්ථික වර්ධනයට දායක කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ලොව සෙසු රටවල රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමේ අරමුණින් අනාගතයේ සියලු දරුවන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් සැලසුම් කරමින් පවතින බවද ජනාධිපතිවරයා කියා සිටියේය. තවද තරුණ තරුණියන් රුකියා සොයා යනවා වෙනුවට රුකියා අවස්ථා තරුණ තරුණියන් සොයා එන අධ්‍යාපන රටාවක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 2 =