ජාතික ආරක්ෂාව නංවන්න ඉන්දියාවෙන් ඩො.මි. 50ක්

(කොළඹ, ලංකාපුවත්) –රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලාංකාවට උදව් කිරීමටත්, මෙරට ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලදී ගැනීමටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් සපයන බවත් පෙරේදා (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පවසා තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළ ආකාරයට ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගෙන ඇති අතර දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳවද සාකච්ඡාවට ලක් වී තිබේ.

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම මෙහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා පෙන්වා දුන් අතර සෙසු කලාපීය රාජ්‍යයන්ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *