නවකවද වින්දිතයන්ට සහන දෙන නිර්දේශ මාස තුනකින්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි නවකවදය නිසා 2018 වසරේ පමණක් සිසුන් 2,000ක් පමණ සිය උසස් අධ්‍යාපනය හැරගොස් ඇති බැවින් මෙය ජාතික අපරාධයක් ලෙස සලකා නවකවදයේ වින්දිතයන්ට සහන සැලසීම වෙනුවෙන් කමිටුවක් වහාම පත් කිරීමට රජය කටයුතු කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නවකවදය හේතුවෙන් කායික හා මානසික වද හිංසා හේතුවෙන් රෝහල් ගත වී ඇති, සදහටම ආබාධිත තත්ත්වයට පත්ව ඇති සහ සියදිවි නසාගෙන ඇති සැලකිය යුතු පිරිසක්ද මෙම පිරිස අතර සිටින නිසා මේ තත්ත්වයට විසඳුමක් ලෙස මෙම සහන සැලසීමේ කමිටුව පත්කරන ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 17 වැනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව 30,000ක පමණ සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කර ගන්නා විට තවත් සිසුන් 20,000ක් පමණ විදෙස් ගත වීම සිදුවේ. මෙම විදේශ ගතවන සිසුන් අතර නවක වදය හේතුවෙන් දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතික්ෂේප කරන සිසුන් සිටින නිසා වාර්ෂිකව රජයට රුපියල් බිලියන 50ක පමණ විදේශ විනිමයක් අහිමි වන බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම කමිටුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුප් මහතා පත්කර තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, එහි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මාගම්මන ප්‍රඥානන්ද හිමි, ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂ ආචාර්ය බෙනට් ශාන්ත ප්‍රනාන්දු පියතුමා, ඌව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය මහතා සහ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා පත්කර තිබේ. එහි කැඳවුම්කරු සහ කමිටු ලේකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත්කර ඇත.

මෙම කමිටුව විසින් සිය නිර්දේශ මාස 03ක් ඇතුළත උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කළ යුතු අතර ඉන්පසු අදාළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නවක වදයේ වින්දිතයන් වීම හේතුවෙන් සරසවි හැර ගොස් ඇති ආසන්න වසර කිහිපයක සිසුන්ට නැවත සරසවි වරම් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =