ගබඩා පහසුකම් පුළුල් කිරීමෙන් සහල් මිල පාලනයට රජයෙන් සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා සතොස ප්‍රධානත්වයෙන් වී අලෙවි මණ්ඩලය හා සමූපකාර දෙපාර්තමේන්තුව එක්ව මේ වසර තුළ දී වී මිලදී ගැනීමේ ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර ඇතැයි සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.

දේශීය සහල් වෙළෙඳපල පුළුල් කර සහල් මිල පාලනය කිරීම එහි අරමුණ වේ.

මෙවර යල කන්නයේ අපේක්‍ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනක ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය හරහා ද, වී මෙට්‍රික් ටොන් 75,000ක ප්‍රමාණයක් ගබඩා කරගැනීමට රජය අපේක්‍ෂා කරයි. එමගින් සියයට 65ක සහල් ප්‍රමාණයක් වෙළෙඳපලට නිකුත් කිරීමේ හැකියාව පවතී.

මීඨ පෙර වර්ෂවල ගඉඩා කර ඇත්තේ වී මෙට්‍රික් ටොන් 48,000ක ප්‍රමාණයකි. පසුගිය වර්ෂය සමඟ සසදා බැලීමේ දී මෙම ප්‍රමාණය විශාල වර්ධනයක් බව තොටවත්ත මහතා සදහන් කළේය. මෙම ඉලක්කගත වී තොග හරහා සහල් මෙට්‍රික්ටොන් දෙලක්‍ෂ හතළිස් තුන් දහස් හත්සිය පනහක පමණ ධාරිතාවයක් ලබා ගත හැකි බවත් මෙමගින් පරිභෝජන අවශ්‍යතාවය මෙන්ම සහල් මිල පාලනය කිරීමට ද සතොස ආයතනය බලාපොරොත්තු වේ.

මෙසේ ලබා ගන්නා සහල් තොග අවම මිල ගණන් යටතේ ලංකා සතොස හරහා වෙළෙඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. සියයට 05ක ප්‍රමාණයක් පැවැති සතොස සහල් අලෙවි මෙම වැඩපිළිවෙල තුළින් සියයට 10ක ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපේක්‍ෂා කෙරේ.

දේශීය වෙළෙඳපල තුළ වඩාත් ඉහළ ඉල්ලුමක් පවතින්නේ සුදු නාඩු සහ සුදු කැකුළු යන සහල් වර්ගවලට වන අතර ඉදිරි කන්නයේ දී එම අවශ්‍යතාව සපුරා ගැනීමට තරම් වී වගා කොට ඇති බවත් ඒ ඔස්සේ පාරිභෝගික අවශ්‍යතා සපුරා ලීමටත් රජය බලාපොරොත්තුවන බව දුෂ්මන්ත තොටවත්ත මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *