රාජිතට මාර්තු 05වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් ඔහුට නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.

වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කිරීමට තරම් කරුණූ අනාවරණය වන බවට මහාධිකරණය තීරණය කළේය. ඒ අනුව ඔහුට නොතීසි නිකුත් කිරීමටත්, අදාළ පෙත්සම මාර්තු 05 වනදා විභාගයට ගැනීමටත් තීරණය කර ඇත.

සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැර ගැනීමක් සිදුවූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දෙසැම්බර් 30 වනදා ලබාදුන්නේය. එම ඇප නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා සිටියි.

මෙම සිද්ධියට අදාළ මුල් නඩු වාර්තාව කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය. ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා පෙබරවාරි 10 වනදාට පෙර ගොනුකළ යුතුය. ප්‍රතිවිරෝධතා පෙබරවාරි මස 24 වනදාට පෙර ගොනුකරන ලෙසටද මහාධිකරණය නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද අද (21) අධිකරණයේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *