ආහාර වර්ග 50කට ජාත්‍යන්තර සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සුලබ ආහාර වර්ග 50ක පෝෂණ ගුණය මැන බලා ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ විශ්ලේෂණ වාර්තාව මැයි මස අවසන් වීමට පෙර ලබා දීමට අපේක්ෂා කරන බවද එහි සඳහන් වේ. මෙහිදී රතු කැකුළු, සුදු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග, සූඩයා, සාලයා, තිප්පිලි වැනි මාළු වර්ග මෙන්ම එළවළු, කරවල, පලතුරු, පොල්, පොල් තෙල් වැනි ආහාර වර්ග කෙරෙහි අවධානය යොමුව තිබේ.

මේ සඳහා තෝරා ගන්නා ලද ආහාර වර්ග කිහිපයක පළමු සාම්පලය ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි අන්තර්ජාතික ආහාර රසායනාගාරය වෙත යවා ඇති අතර ඊළඟ සාම්පලය මාර්තු මාසයේදී යැවීමට නියමිතය. එසේම මේ සඳහා රුපියල් ලක්ෂ 92ක් වැය වන අතර එම මුදල් ලෝක බැංකු ණය ආධාර යටතේ ලබා දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *