සංස්කෘතික අරමුදලෙන් මිලියන 100ක් පසුගිය රජය අරගෙන

(කොළඹ, ලංකාපුවත්) – සංස්කෘතික අරමුදලේ සේවකයන්ට දෙසැම්බර් මාසයේ වැටුප් ගෙවීමට මුදල් නොමැති වීමෙන් එහි ස්ථාවර තැන්පතුවෙන් රුපියල් මිලියන සියයක් ගැනීමට පසුගිය රජය කටයුතු කර තිබේ.

මෙම මුදල් ලබාගැනීමට එහි පාලක මණ්ඩලයේ කිසිදු අනුමැතියක් ලබා ගෙන නැති බවත් එහි පනතටද පටහැනිව මෙම මුදල් ගෙන ඇති බවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ පිළිබඳ කඩිනමින් සොයා බලා වාර්තාවක් ලබා දෙන්නැයි වත්මන් සංස්කෘතික ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. ඊට අමතරව කමිටුව මඟින් පසුගිය සමයේ සිදු වූ මූල්‍ය, සංවර්ධන, මානව සම්පත්, අක්‍රමිකතා පිළිබඳවද සොයා බැලීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියේය. මීට අමතරව ආගමික මධ්‍යස්ථානවලටද රුපියල් මිලියන ගණනක් එවකට විෂය භාර ඇමැතිවරයා ඔහුගේ හිතුමනාපෙට බෙදා දී ඇති බවත් දෛනික වැටුප් ගෙවීමේ පදනමින් සේවකයන් 1000ක් බඳවා ගෙන ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඇසිදිසි මැඳුර ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සංස්කෘති අරමුදලේ සේවකයන්ට මාසිකව පඩි ගෙවීමට රුපියල් මිලියන 270ක් වැය වෙන බවත් එහෙත් පසුගිය කාලයේදී ආදායම වශයෙන් උපයාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 4580ක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. මීට අමතරව නඩත්තු කිරීම් හා අලුතින් ඉදිකිරීම් සඳහා රජයේ ආයතන හා පෞද්ගලික අංශයට මිලියන 1600ක් ගෙවීමට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙහි පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනිවාර්යෙන්ම අගමැතිවරයා පත්වන බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා මීට අමතරව විෂය භාර ඇමැතිවරයා, අධ්‍යාපන ඇමැතිවරයා, මුදල් ඇමැතිවරයා, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සංවිධානයේ විෂය භාර ඇමැතිවරයා, සංචාරක කටයුතු විෂය භාර ඇමැතිවරයා, හින්දු ආගමික කටයුතු ඇමැතිවරයා, පුරා විද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සහ අගමැති ලේකම්වරයාද ඊට ඇතුළත් බවද පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 3 =