කොරොනා වෛරසයට මුහුණ දෙන්න කටුනායකට ස්කෑන් යන්ත්‍ර

(කොළඹ, ලංකාපුවත්) – චීනයෙන් වාර්තා වූ කොරොනා නම් නව වෛරසය හේතුවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ලංකාවට පැමිණෙන්නේදැයි හඳුනා ගැනීමට ක්‍රියා කරන ලෙසට සෞඛ්‍ය ඒකකය දැනුවත් කර ඇති බවය. මේ අතර නව කොරෝනා වෛරස් රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ. වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයන්ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර රටවල් කීපයක ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරොනා අසාදිතයින් කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ සමඟ එක්ව කටුනායක ගුවන්තොටුපළේ නව කොරොනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (22) උදෑසන කටුනායක ගුවන්තොටුපළේ ස්ථාපිත කර තිබෙන මෙම ස්කෑනර් යන්ත්‍ර 03 පරික්ෂාවට ලක් කළේය.

කටුනායක ගුවන්තොටුපළේ මෙම සැක කටයුතු අසාදිතයන් හඳුනා ගැනීම සඳහා ස්කෑනර් යන්ත්‍ර 3ක් ස්ථාපනය කර ඇති බවත් චීනය, තායිලන්තය වැනි රටවල්වලින් පැමිණෙන සියලුම ගුවන් මඟීන් මෙමඟින් පරීක්ෂාවට ලක් කරන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 9 දෙනකු මියගොස් ඇති අතර වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව 440 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ මෙම රෝගී තත්ත්වය තවත් ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *